පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන

දෙසැ 24, 2018

    අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවට සහන සැලසීම වේගවත් කෙරේ.

    ඒ පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද කිලිනොච්චි ප්‍රදේශයේ සංචාරයක නිරත විය. උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05ට බලපා ඇති ජල ගැලීම් හේතුවෙන් 60,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති. ඉන් වැඩිම හානි සිදුව ඇත්තේ කිලිනොච්චි, දිස්ත්‍රික්කයටයි. 38,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති. ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබඳ සාකච්ජාවක් අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. සහන කඳවුරුවල තාවකාලිකව රැඳී සිටින ජනතාවගේ සුවදුක් විමසීමට ද අමාත්‍යවරයා එක්විය. අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රදානයක් ද සිදු කෙරිණ.

    මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක 20,000 කට අධික පිරිසක් ගංවතුරින් බලපෑමට ලක්ව ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. යාපනය දිස්ත්‍රික්කයේ 700කට වැඩි පිරිසක් හා වවුනියාව දිස්ත්‍රික්කයේ 300කට ආසන්න පිරිසක් ජල ගැලීමේ බලපෑමට ලක්ව සිටිති. විපතට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුම්වල ත්‍රිවිධ හමුදාව අඛණ්ඩව යෙදී සිටිති.

    Slfp px 900 18 12 24

    කිලිනොච්චි හා මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ උපදෙස් පරිදි යුද හමුදා බලසේනා හා බල ඇණිවල නිලධාරීහු හා සෙබලු සහන සේවාවල යෙදී සිටිති. විපතට පත්වූවන්ට පිසූ ආහාර ලබාදීමට ද ආරක්‍ෂක අංශ පියවර ගෙන ඇත. නාවික හා යුද හමුදාවේ බෝට්ටු ප්‍රයෝජනයට ගනිමින් සාමාන්‍ය ජනතාවට ගමනා ගමන පහසුකම් සැලසීමට ද ආරක්‍ෂක අංශ ක්‍රියා කර තිබේ.

    පීඩාවට පත් පාසල් දරුවන්ට සහන සැලසීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. නිවාස හානියට පත් පාසල් දරුවන් සඳහා අමතර නිල ඇඳුම් කට්ටලයක් ලබාදීමට නියමිතයි. පාවහන් මිලදී ගැනීම සඳහා වවුචරයක් ලබාදීමට පියවර ගෙන තිබේ. පෙළපොත් හානියට පත්ව ඇත්නම් අලුතින් පෙළපොත් ලබාදීමට ද නියමිතයි.

    විපතට පත්ව සිටින ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ දැඩි අවධානයකින් ක්‍රියාකරන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

    මේ අතර, පොල්පිතිගම හක්වටුනාව ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කර ඇත. එහි වාන් දොරටු විවෘත කෙරුණේ, වසර දෙක හමාරකට පසුවයි. ජලාශයේ ධාරිතාව අක්කර අඩි 29,727කි. මොරගහකන්ද ජලාශයේ ජලය ද මෙම ජලාශයට මුදා හැරේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඩා වැව් 350 කට පමණ මෙමගින් දියවර සැපයේ.

    වවුනියාව කිඩවරාන්කුලම වැවේ වාන් දොරටු 3ක් ද අද උදේ විවෘත කෙරිණ. ප්‍රදේශයේ සියලු වැව් වාන් දමමින් පවතී. අද දිනයේ ද උතුරු පළාතට වැසි සහිත කාලගුණයක් පවතින බව අප වාර්තාකරු පවසයි.

    Van px 900 18 12 24

    රාජංගණ ජලාශයේ වාන් දොරටු 30න් 08ක් ඊයේ විවෘත කෙරුණු අතර, අද පෙරවරුවේ ඉන් 06ක් යළි වසා දැමිණ. එමගින් තත්පරයට ඝන අඩි 1,300 බැගින් ජලය මුදා හැරේ.

    මේ අතර, තඹුත්තේගම අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර තිබේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News