පාසැල් විවෘත කිරීමට පෙර මේ සතිය පිළිබඳ සැළකීම වැදගත් - අධ්‍යාපන ඇමති

මැයි 26, 2020

    කොවිඩ් - 19 වසංගතයෙන් පසුව යලි පාසැල් විවෘත කරන දිනය තවත් සතියකින් හෝ දෙකකින් ප්‍රකාශ කිරීමට හැකිවන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    දින 66 කට පසුව අද වනවිට මුළු රටම යළි විවෘත කොට ඇති බවත්, මෙහිදී ඉදිරි සතියක කාලය තුළදී සමාජයේ හැසිරීම, ප්‍රවාහන කේෂ්ත්‍රය සම්බන්ධයෙන් වන කරුණු ගැන ඉතා හොදින් අධ්‍යනයක නියැලීමට කටයුතු කරන බවයි, අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.

    පාසල් යලි ඇරඹීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් අද දිනයේදී සාකච්ජා කළ බවද කියා සිටියා.

    දරුවන් පාසැල් වෙත ගෙන ඒම සිදුකරනු ලබන්නේ අදියර කිහිපයකින් බවත් උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන් පළමුව කැඳවීමට අපේක්ෂා කරන බවයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ.

    මෙහිදී රටේ ලක්ෂ 43ක පාසල් දරු දැරියන්ගෙන් හරි අඩක් පොදු ප්‍රවාහන පහසුකම් භාවිතා කරන බැවින් ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් සැකසීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යවරයා සමගද සාකච්ජා කොට අදාළ පියවරන් ගැනීමට සිදුවන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියා.

    පාසල තුළ දරුවන්ගේ සෞඛ්‍ය කටයුතු නියමිත පරිදි පවත්වා ගෙන යාමට අවශ්‍ය කටයුතු ද මෙහිදී අවධානයට ලක් වූ බවයි ඇමතිවරයා කියා සිටියේ.

    Latest News