අර්නස්ට් පෝරුතොට පියතුමා ස්වර්ගස්ථ වෙයි

ජූනි 16, 2020

    ප්‍රකට ලේඛකයෙකු හා ගත්කතුවරයෙකු වන අර්නස්ට් පෝරුතොට පියතුමා අද අළුයම ස්වර්ගස්ථ වුණා.

    ඒ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. සර්ගස්ථ වන විට පියතුමා 88 වැනි වියේ පසුවිය.

    පී. පී. ප්‍රනාන්දු හා කුරුකුලසුරිය මේරී මාග්‍රට් පීරිස්‌ මහත්මියගේ කුළුඳුල්‌ පුතනුවන්‌ වන පෝරුතොටගේ රෝමන්ඩ්‌ ඇලෙක්සැන්ඩර්‌ ප්‍රනාන්දු වන ඔහු 1931 අගෝස්තු 31 වැනිදා උපත ලැබුවා. මාරවිල රෝමානු කතෝලික පිරිම පාසලෙන්‌ ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහු, පැවිදි දිවියට මුලපුරන්නේ 1944 දී. 1957 පෙබරවාරි දෙවැනිදා පූජකවරය ලබන උන්වහන්සේ, පරපූර්ණව දේව සේවයට කැප වුණා. උන්වහන්සේ අම්පිටිය ජාතික දෙවි සත්හලට ඇතුළු වී දේව ධර්මයත්‌, දර්ශනයත්‌ හදාරනු ලැබුවා. 1955 දී ලේඛණ කලාවට හා ගීත නිර්මාණයට අවතීරණ වූ පෝරුතොට පියතුමා 'දිව්‍ය හෘදයේ දූතයා' සඟරාවෙහි සංස්කාරකත්වය දරමින්‌, සිය පළමු ග්‍රන්ථය වූ 'වෘත්තිය සමිති විප්ලවය' නමැති කෘතිය රචනා කළා, උන්වහන්සේ තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරය, තරුණ ක්‍රිස්තියානු කම්කරු ව්‍යාපාරය හා ක්‍රිස්තියානි පවුල් ව්‍යාපාරය යන අංශවලට ද නොමද දායකත්වයක් ලබා දුන්නා. කතෝලික විවාහ මංගල්‍යකයදී ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික පෝරුවක් භාවිත කරමින් උන්වහන්සේ සිදුකළ දිව්‍ය යාගය සුවිශේෂ වනවා.

    එහිදී ජයමංගල ගාථාවක්‌ සිංහලෙන්‌ ගායනා කිරීමට ද උන්වහන්සේ පියවර ගනු ලැබුවා. 1972 දී කැලණිය මීසමේ පාලක වශයෙන්‌ සිටියදී ජාතික කතෝලික සිනමා පර්ෂදය හෙවත්‌ ඕ සී අයි සී ආයතනය උන්වහන්සේගේ මුලිකත්වයෙන්‌ ආරම්භ කෙරුණා. එමගින්‌ මෙරට, තරුණ තරුණියන්‌ රැසක්‌ සිනමාවට දායක කරනු ලැබුවා, 'ක්‍රිස්තු චරිතය චිත්‍රපටයට ආගමික සංස්ථාවෙන්‌ තහංචි එල්ල වූ අවස්ථාවේදී පෝරුතොට පියතුමා ඒ වෙනුවෙන්‌, සෘජුව හා නිර්භීතව පෙනී සිටියා.

    මරදාන සමාජ හා සාමජික කේන්ද්‍රයට අනුබද්ධව, මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපනය කළ පෝරුතොටු පියතුමා 1989 සිට 1998 දක්වා කලාව උදෙසා විශිෂ්ට මෙහෙවරක නිරත වුණා. 1998 මාධ්‍ය ක්‍ෂේත්‍රයෙන්‌ තාවකාලිකව සමුගැනීමක්‌ සිදු කළ ද උන්වහන්සේ ස්වාධීනව සිය මෙහෙවර ඉටු කරනු ලැබුවා. "විශ්ව පුසාදිනී" හා "දේශ නේතෘ" යන සම්මානවලින්‌ උන්වහන්සේ පිදුම් ලබා තිබෙනවා. අර්නස්ට් පෝරුතොට පියතුමාගේ දේහය, අද සවස 3.00 සිට හෙට සවස 6.30 බොරැල්ල අගරදගුරු දෙව් මැදුරේ "දිව්‍ය හෘදයේ දෙවි මැදුරේ" තැන්පත්‌ කෙරෙනවා. පසුව කළුතර කටුකුරුන්ද ශාන්ත පිලිප්‌ නේරි දේවස්ථානය වෙත රැගෙන යනූ ඇති. ලබන 18 වැනිදා සවස 2.30ට දිව්‍ය පූජාව සහ අවසන් කටයුතු කටුකුරුන්ද ශාන්ත පිලිප් නේරි දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතයි.

    Latest News