කොවිඩ්-19; අද පූර්ණ සුවය ලැබූ 24ක් රෝහල්වලින් පිටව යයි (වීඩියෝ)

ජූනි 18, 2020
  • මෙරට කොවිඩ්-19 රෝගය වැළඳී, පූර්ණ සුවය ලැබූ ප්‍රතිශතය අද වනවිට 73.77% දක්වා ඉහළ ගොස් තිබේ.

    අද පූර්ණ සුවය ලැබූ 24 දෙනෙකු රෝහල්වලින් පිටව ගියේය. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 1,421ක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු දෙදෙනෙකු පමණක්, අද මෙරටින් වාර්තා වූහ. ඔවුන්ගෙන් අයෙකු එංගලන්තයේ ලන්ඩන් නුවර සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්. අනෙක් පුද්ගලයා, රුසියාවේ සිට මෙරටට පැමිණි අයෙක්.

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාවට වඩා තවදුරටත් ඉහළ අගයක් ගනී. එම සංඛ්‍යාව 1,421ක්. ප්‍රතිශතය 73.77ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 494 දෙනෙකු පමණි. ප්‍රතිශතය 25.64ක්. මරණ සංඛ්‍යාව 11ක්. එම ප්‍රතිශතය 0.57ක්.

    ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපොළේ සිට ඉන්දීය ජාතිකයන් පිරිසක් රැගත් ගුවන් යානයක් ඊයේ රාත්‍රී මෙරටට පැමිණියේය. එහි පැමිණි පිරිස 54ක්. ඔවුන් කොළඹ වරායේ නැංගුරම්ලා ඇති නෞකාවක කාර්ය මණ්ඩලයට අයිති පිරිසක්. ඔවුන්ගේ පීසීආර් පරීක්‍ෂණ ගුවන් තොටුපලේදීම සිදු කෙරිණ.

    ශ්‍රී ලංකාව කොවිඩ්-19 රෝගය පාලනය කිරීමට සමත්වී තිබීම යහපත් ප්‍රවණතාවයක් බව, මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, අද උදේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූනි 2020 20:22

    Latest News