"MyBuslk" ලබන අඟහරුවාදා ජනගත කෙරේ

ජූලි 05, 2020

    ලංගම හා පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ට ගමනාගමන කටයුතු පහසු කරවීමට බස් රථ පිළිබඳ තොරතුරු ඇතුළත් mybuslk ජංගම දුරකතන යෙදවුම, ලබන අඟහරුවාදා ජනගත කිරීමට නියමිත බව, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

    ඒ, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසම වෙත දී තිබූ උපදෙස් අනුවයි. ඒ අනුව, මගීන්ගේ ගමන් පහසුව සඳහා සකස් කළ  mybuslk නම් ජංගම දුරකතන යෙදවුමේ සැකසුම් මේ වනවිට ජාතික ගමනාගමන කොමිසම විසින් සිදු කරනු ලැබ තිබේ. එම ජංගම දුරකතන යෙදවුම දියත් කිරීම ලබන අඟහරුවාදා කොළඹ දී සිදුකිරීමට නියමිතයි. ජාතික ගමනාගමන කොමිසමේ කළමනාකරණ සහකාරවරයෙකු ලෙස සේවය කරන, නුවන් සෙනෙවිරත්න මහතා විසින් කොමිසමේ මුදල් වියදම් නොකර, මෙම අංග සම්පූර්ණ යෙදවුම නිර්මාණය කරනු ලැබීය.

    මෙම ජංගම දුරකතන යෙදවුමට අනුව, මගීන්ට බස් රථයක ආරම්භය හා ගමනාන්තය දැක්වෙන වේලාවන්, මගීන් බස් රථයකට ගොඩවෙන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා අය කෙරෙන ගාස්තුව සහ තමන් ගමන් ගතයුතු බස් රථය ඒ මොහොතේ පවතින ස්ථානය, යනාදී කරුණු දැනගැනීමේ හැකියාව පවතී. එමෙන්ම, මගී ප්‍රවාහන ජංගම දුරකතන යෙදවුමක තිබිය යුතු, සියළුම අංග සහිතව සකස් කර තිබෙන මෙම යෙදවුමෙන් අන්තර්ජාලය හරහා මගී පැමිණිලි ඉදිරිපත් කිරීමට ද හැකියාව ලැබේ.

    Latest News