වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් හදනවා ... ජනපති

ජූලි 27, 2020

    මත්ද්‍රව්‍ය තොරතුරු නිර්නාමිකව ජනාධිපති කාර්යාලයට එවන්න ... ජනපති කුරුණෑගලදී කියයි.

    දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

    දීර්ඝ කාලයක සිට නිසි අයුරින් වැව් සහ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය නොවීම ජනාධිපතිතුමා පසුගිය දිනවල චාරිකා කළ සියලු දිස්ත්‍රික්ක වලදී ජනතාව ඉදිරිපත් කළ ප්‍රධාන ගැටළුවකි.

    කෘෂි කර්මාන්තයට සහ ජනජීවිතයට එය ඉමහත් හානිකර බලපෑමක් කර තිබේ.

    ඊට විසඳුම් ලෙස විධිමත් හා නිසි ප්‍රමිතිගත සැලසුමක් ඇතිව සියලු වැව් ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපතිතුමා කියා සිටී.

    පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට අද (27) දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකා කළ ජනාධිපතිතුමා කුලියාපිටිය සමූපකාර ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට සහභාගී වෙමින් මේ බව සඳහන් කළේය.

    අපේක්ෂක සමන් ප්‍රිය හේරත් මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ.

    අපේක්ෂක සෝමසිරි ගුණතිලක මහතා බිංගිරිය දුම්මලසූරිය, නෙරළුගම ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටිජනතාව සමග සුහද කථා බහක නිරත විය.

    මැටි කර්මාන්තය ආශ්‍රිත ස්වයං රැකියාවල නිරත පිරිස තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

    ඔවුනට නිදහසේ සිය ජීවනෝපාය කරගෙන යාමට ඉඩ දෙන ලෙස ජනාධිපතිතුමා එවලෙහිම පොලීසියට නියෝග කළේය.

    අපේක්ෂක අනුර ප්‍රියදර්ශන යාපා මහතා කටුගම්පොළ, පන්නල මහජන ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය.

    වසර 150ක් පැරණි පන්නල ජාතික පාසලට නව පරිපාලන ගොඩනැගිල්ලක්, පිහිණුම් තටාකයක් ඉදිකර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ඉටු කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    පිත්තල සහ වෙනත් සාම්ප්‍රදායික කර්මාන්තවල නිරත පිරිස් ණය ඉල්ලුම් කිරීමේ දී මුහුණදෙන ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.

    Latest News