ජාතික ලයිස්තු අර්බුදය තවදුරටත් (වීඩියෝ)

අගෝ 10, 2020
  • මහ මැතිවරණය අවසන් වී දින කිහිපයක් ගතව ඇතත්, පක්‍ෂ රැසක් තවමත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කර නොමැත.

    පක්‍ෂ බොහොමයක ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් අර්බුද මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    සමගි ජන බලවේගයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා පුද්ගලයින් මේ වනවිටත් නම් කර නොමැත. ඒ සම්බන්ධයෙන් පක්‍ෂය තුළ දැඩි අර්බුදයක් හටගෙන ඇති බව වාර්තාවේ. පක්‍ෂ සාමාජිකයෙකු නොවන පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවට නම් කිරීම හේතුවෙන් අර්බුදය උග්‍ර වී තිබේ.

    රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, පලනි දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් පක්‍ෂවලට සමගි ජනබලවේගයෙන් ලබාදෙන බවට පොරොන්දු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නොදීම ද තවත් අර්බුදයක්.

    සමගි ජනබලවේගයට මෙම ඡන්ද ප්‍රමාණය හෝ හිමිවූයේ සුළු ජාතික ඡන්දවලින් බවයි ඔවුන්ගේ අදහස. අදාළ මන්ත්‍රී ධූර නොලැබුණහොත් ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුවී තිබේ.

    එක්සත් ජාතික පක්‍ෂයට මෙවර මහ මතිවරණයෙන් එකම මන්ත්‍රී ආසනය හිමිවුණේ, ජාතික ලැයිස්තුවෙනි. රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂයේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් මීළඟට පත්වන නායකයාට එම මන්ත්‍රී ධූරට ලබාදීමට තීරණය කර තිබේ.

    මහ මැතිවරණයෙන් “අපේ ජනබල පක්‍ෂයට“ ද ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධූරයක් හිමිවිය. ඒ සඳහා පුද්ගලයෙකු නම් කිරීම මේ වනවිට බරපතල අර්බුදයක් බවට පත්ව ඇත.

    Last modified on සදුදා, 10 අගෝස්තු 2020 20:11

    Latest News