ඇළහැර ගොවීන්ට බඩඉරිඟු වගාවෙන් සරු අස්වැන්නක් (වීඩියෝ)

අගෝ 15, 2020
  • පොළොන්නරුව, ඇලහැර ප්‍රදේශයේ ගොවීන් කොරෝනා වසංගතය සමයේ සිදු කළ බඩඉරිඟු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට සමත්ව තිබේ.

    අක්කර 100ක පමණ බඩඉරිඟු වගාකර ඇති බව වාර්තාවේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් වී වගාව මෙන්ම, අතිරේක බෝග වගාව ද සිදුකරනු ලබයි. පසුගිය කාලයේ සේනා දළඹුවාගෙන් විනාශ වූ බඩඉරිඟු වගාව, කිසියම් කාලසීමාවකට පසු යළි ආරම්භ කෙරිණ. ඒ අනුව, ඇලහැර ප්‍රදේශයේ ගොවීන් වැඩි දෙනෙකු කොරෝනා වසංගතය සමයේ බඩඉරිඟු වගාව වෙත යොමු වී තිබේ.

    අප වාර්තාකරු පවසන්නේ, රජය බඩ ඉරිඟු බීජ නොමිලයේ ලබාදී ඇති අතර, මේ වනවිට ඉන් සාර්ථක අස්වනු ලැබෙමින් පවතින බවයි. වන අලින්ගෙන් බඩ ඉරිඟු වගාබිම් ආරක්‍ෂා කර ගැනීමට ද ගොවීන් සමත්ව තිබේ. කෙසේ වුවද, කොරෝනා බලපෑම නිසා බඩඉරිඟු අස්වැන්න කිරිකරල් ලෙස අලෙවි කරගැනීමේ යම් දුෂ්කරතාවක් පැන නැඟී ඇති බව, ගොවීන් පවසයි.

    වෙනදා තරම් වෙළෙන්දන් පිරිසක් ගම්මාන වෙත තවමත් නොපැමිණිම ඊට හේතුවයි. මීට පිළියමක් ලෙස බඩඉරිඟු කරල හොඳින් වියලා අස්වනු නෙලාගත හැකි බව ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව එම බඩඉරිඟු ඇට මිලදී ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කර දෙන ලෙස ප්‍රදේශයේ ගොවීන් කෘෂි බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    Last modified on සෙනසුරාදා, 15 අගෝස්තු 2020 20:06

    Latest News