1978 පිහිටවූ ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව

අගෝ 15, 2020

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 9 වැනි පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

    ඊට සමගාමීව මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය පිලිබඳ විමසා බැලෙන “මැතිසබය“ විශේෂාංගයෙන් අද අවධානය යොමු කරන්නේ, 1978 වසරේ පිහිටවූ ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව පිළිබඳවයි.

    මෙරට දේශපාලන ඉතිහාසය උඩු යටිකුරු කළ මැතිවරණයක් ලෙස 1977 මහ මැතිවරණය හැඳින්විය හැක. ඉන් ආසන 168කින් ආසන 140ක ජය එක්සත් ජාතික පක්‍ෂයට හිමිවිය. එය 6න් 5ක පාර්ලිමේන්තු බලයක්. 1970 සිට පාර්ලිමේන්තුව හැඳින්වූයේ ජාතික රාජ්‍ය සභාව ලෙසයි.

    1977 එක්සත් ජාතික පක්‍ෂය බලය හිමිකරගත් දෙවැනි ජාතික රාජ්‍ය සභාවේ මුල්ම කතානායකවරයා වූයේ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතායි. 1978 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු ලැබිණ. ඒ අනුව 1978 සැප්තැම්බර් 7 වැනිදා සිට ශ්‍රී ලංකා ජනරජය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස වෙනස් විය. නව ව්‍යවස්ථාවත් සමඟ සිදු වූ අනෙක් වෙනස වුයේ විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීමයි. 1977 අග්‍රාමාත්‍යවරයා ලෙස මහ මැතිවරණයෙන් ඉදිරිපත් වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ව්‍යවස්ථා වෙනසත් සමඟ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිතිවරයා බවට පත්විය.

    ඒ සමඟ 1978 දෙසැම්බර් පළමු වැනිදා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුව ආරම්භ විය. එහි අග්‍රාමාත්‍යවරයා වූයේ ආර්.ප්‍රේමදාස මහතායි. 1978 සිට 1983 දක්වා කතානාකවරයා ලෙස අබ්දුල් බාකීර් මාකර් මහතා කටයුතු කළේය.

    1983 සිට 1989 දක්වා කතානායකවරයා වූයේ ඊ.එල්. සේනානායක මහතායි. විපක්‍ෂ නායකවරයා ලෙස මුලින්ම ඒ. අමිතර්තලිංගම් මහතා පත්වීම විශේෂ සිද්ධියක්. කෙසේ වෙතත්, උතුරේ පැවති අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් ඔහු මාස තුනකට අධික කාලයක් පාර්ලිමේන්තු නොපැමිණීමෙන් නිසා විපක්‍ෂ නායක ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ යෙන් නුවරඑළිය, මස්කෙළිය ආසනයට තරග කළ අනුර බණ්ඩාරනායක මහතාට හිමිවිය.

    පාර්ලිමේන්තු නිල කාලය වසර 6කින් අවසන් කිරීමට නියමිතව තිබුණ ද 1982 වසරේ පැවති ජනමත විචාරණයෙන් පාර්ලිමේන්තු ධූර කාලය වැඩිකර ගැනීමට එවක එක්සත් ජාතික පක්‍ෂ රජය ක්‍රියා කළේය.

    ජනමත විචාරණයත් සමඟ රටේ ජනවාර්ගික අර්බුදයකට මුල පිරිණ. 1983 කළු ජූලිය මෙරට ඉතිහාසයට එක් කළ කළු පැල්ලමක්. 1978 පසු සිදුවූ තවත් විශේෂ සිදුවීමක් වන්නේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමයි. එමගින් ආනයන ආර්ථිකයකට ඊට හුරුවීමත් සමඟ දේශීය නිෂ්පාදනය පදනම් කරගත් මෙරට ආර්ථිකය පරිහානියට පත්විය.

    1978 ආරම්භ වූ පළමු පාර්ලිමේන්තු කාලසීමාවේ තවත් විශේෂ සිදුවීමක් වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමයි. 1987 අගෝස්තු 17 වැනිදා එම ප්‍රහාරය එල්ල කෙරිණ. ඒ ජනතා විමුක්ති පෙරමුනේ, ප්‍රබල සාමාජිකයෙකු සහ පාර්ලිමේන්තු සුළු සේවකයෙකු වූ අජිත් කුමාර විසින්.

    ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රධානත්වය ඉසුලූ කාරක සභා රැස්වීමකට මෙම ප්‍රහාරය එල්ල විය.

    Latest News