අද මහජන නියෝජිත හැසිරිම නිසා දරුවෙක්ට අවවාදයක් දෙන්න ලැජ්ජයි

ජන 09, 2019

    මහජන නියෝජිතයින්ගේ ක්‍රියාකලාපය හා අනිසි හැසිරීම හේතුවෙන් මෙරට පාර්ලිමේන්තුව රටට ආදර්ශයක් ලබාදිය නොහැකි තත්වයට පත්ව තිබෙන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පසුගිය දා පාර්ලිමේන්තුවේ සිදුවූ සිද්ධීන් තව දුරටත් වසන් නොකර ඒ පිළිබඳව පුළුල්ව සොයා බලා ඊට අදාල පියවර ගනිමින් මන්ත්‍රීවරුන්ගේ ආචාර්ය ධර්ම පද්ධතිය තදින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ඔහු විසින් පෙන්වා දුනි.

    කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සර උළෙල සහ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

    අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා - “ දේශපාලඥයන් වශයෙන් අප අනෙක් අයට ආදර්ශයක් ලබා දිය යුතුයි. අවසනාවකට මෙන් අද අපේ පාර්ලිමේන්තුවෙන් රටට ආදර්ශයක් ලැබෙන්නේ නැහැ. අපේම හැසිරීම නිසා ඒ ආදර්ශය අහිමි කරගෙන තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවකින් පසු ඇතැම් විට පාසල් දෙකක සිසුන් අතර ඇතිවන ගැටුමකටත් වඩා අන්ත තත්වයක් පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ ඇතිවුණා. 

    පාර්ලිමේන්තුවේ ඇතිවූ මේ සිද්ධීන් වසන් කළ යුතු නැහැ. ඒ පිළිබඳව පුළුල්ව අපේ අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව වැරදි නිවැරදි කර ගෙන රටට ආදර්ශයක් ලබා දෙන්නේ කෙසේද කියා බැලිය යුතුයි. මේ සිදුවීම් සම්බන්ධව වැරැද්ද තවමත් පිළිගෙන නැහැ. මෙවැනි පසුබිමක් තුල දේශපාලඥයෙක් වශයෙන් අද මා ඔබතුමන්ලාට උපදෙස් දෙන්නේ කෙසේද කියන ප්‍රශ්නය මතුවෙනවා. එලෙස උපදෙස් දීමට හැකි තත්වයක් අද නිර්මාණය වී නැහැ. මොකද මමත් ඒ පාර්ලිමේන්තුව නියෝජනය කෙරෙන නිසා ඒ තත්වය උදා වී තිබෙනවා. මේ සිද්ධිය පාපිස්ස යට සඟවා තැබුවොත් එය අපේ රටට විශාල හානියක් වෙනවා. කොපමණ ලැජ්ජාවකට පත් වුනත් අප සියළු දෙනා මේ සිද්ධිය පිළිබඳව අවධානය යොමු කර ඒ ගැන පුළුල්ව සාකච්ඡා කර කුමක් ද සිදුවුනේ කියා සත්‍ය රටට හෙළි කළ යුතුයි. එය අප සියළු දෙනා දැනගත යුතුයි. මෙම සිද්ධියෙන් පසු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා තරුණ තරුණියන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අදහස් පළ කළා. අප මේවා වසන් කළ යුතු නැහැ. මෙය නිවැරදි කර ගත යුතුයි. මහජන නියෝජිතයින් වශයෙන් අපේ අඩුපාඩු හා වැරදි තිබෙනවා නම් ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. එසේ නොවුනොත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අහිමි විය හැකියි. පාර්ලිමේන්තුවේ පමණක් නොව ඇතැම් පළාත් පාලන ආයතනවල දේශපාලඥයින් මෙලෙස හැසිරුණු ආකාරය අපි පසුගියදා දුටුවා.

    මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලෙන් පිටව යන විට අප ඔවුන්ට ආදර්ශයක් දිය යුතුයි. අපේ වැරදි නිවැරදි කර නොගන්නවා නම් එවැනි ආදර්ශයක් අපට ලබාදිය නොහැකියි.

    මේ පාසලේ දරුවන්ට හොඳ ආචාර ධර්ම පද්ධතියක් තිබෙන බව මෙහි පැමිණි අවස්ථාවේදී මා දුටුවා. මහජන නියෝජිතයින් වන අපටත්, ආචාර්ය ධර්ම පද්ධතියක් තිබෙනවා. එහෙත් අවාසනාවකට මෙන් එයට කුමක් ද වුනේ කියා ඇතැම් විට මම ම මගෙන් ප්‍රශ්න කර ගන්නා අවස්ථා තිබෙනවා. ඇතැම් රටවල ආචාර්ය ධර්ම පද්ධතිය නීතියෙන් ක්‍රියාත්මක කරනවා. ඇතැම් රටවල ඒ ආචාර්ය ධර්ම පද්ධතිය සම්බන්ධව දැනුවත් කරන්න කොමසාරිස්වරු පත් කර තිබෙනවා. ඔවුන් මන්ත්‍රිවරුන්ට අදාල වාර්තා සපයමින් උපදෙස් ලබා දෙනවා. පසුගියදා එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු පිරිසකට බීමතින් පාර්ලිමේන්තුවට නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදුන් අයුරු අප දුටුවා. මෙරට පාර්ලිමේන්තුව සම්බන්ධව ද අපට එලෙස තදින් ක්‍රියා කරන්න සිදුවේවි. එසේ නොකරනවා නම් එය රටට කරන විශාල හානියක් බව කිව යුතුයි.

    පාර්ලිමේන්තුවේ විනය කඩ කළත් ඒ අය සම්බන්ධව ගත යුතු පියවර කුමක්ද කියා අප පුළුල්ව සිතා බැලිය යුතුයි. මහා සංඝ රත්නයට විනය පිටකයක් තිබෙනවා. නමුත් අපට තිබෙන්නේ ස්ථාවර නියෝග. ඒ අනුව එය ආරක්ෂා කරමින් අප ක්‍රියා කළ යුතුයි යැයි ඔහු කියා සිටියේය.

    Latest News