කොරෝනා නවතම තත්ත්වය - ඊයේ දිනයේදී පී සී ආර් පරීක්ෂණ 7196 ක්

ඔක් 10, 2020

    ති‍්‍රවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ගණන දසදහස ඉක්මවා තිබෙනවා.

    ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන 89 ක මේ වනවිට පුද්ගලයින් 10,181 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි, කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

    මේ වනවිට පුද්ගලයින් 50,364 දෙනෙකු සිය නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා.

    නිරෝධායන කි‍්‍රයාවලිය නිමකළ පුද්ගලයින් 465 දෙනෙකු අද දිනයේ ද සිය නිවෙස් බලා පිටව ගිය බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.

    මේ අතර, ඊයේ දිනයේදී පමණක් මෙරටදී පී සී ආර් පරීක්ෂණ 7,196 ක් සිදුකළ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළා.

    කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ දෙවන හා තුන්වන ආශ‍්‍රිතයින් පිළිබඳව වැඩි අවධානයකින් පසු වන බවයි, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

     

    මේ අතර,රුවන්පුර අධ්‍යාපන පීඨය තාවකාලිකව වැසේ

    වැල්ලදුරේ පිහිටි රුවන්පුර අධ්‍යාපන විද්‍යා පීඨය තාවකාලිකව අද වසා දැමුණා.

    ඒ, එම විද්‍යා පීඨයේ සිසු - සිසුවියන් 100 කට ආසන්න පිිරිසක් උදරාබාධයකින් පෙළීම හේතුවෙන්.

    ගොඩකවෙල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් පැමිණ, අසනීප වූ සිසුන්ට විද්‍යා පීඨය තුළදීම ප‍්‍රතිකාර ලබා දී තිබෙනවා.

    ආහාර විෂවීමක් හේතුවෙන් මෙම සිසුන්ට උදරාබාධ තත්ත්වයක් හට ගන්නට ඇති බවයි, සැක පළ කෙරෙන්නේ.

    මේ වනවිට රටේ පවතින තත්ත්වය ද සැළකිල්ලට ගනිමින් සිසුන්ට රුවන්පුර අධ්‍යාපන පීඨයේ නේවාසිකාගාර වලින් පිටවන ලෙසයි පාලනාධිකාරිය උපදෙස් ලබා දී ඇත්තේ.

     

     

    හලාවත ධිවරයෙකුටත් කොරෝනා : ධිවර බෝට්ටුවක් තුළ 06 දෙනෙක් නිරෝධායනයට

    හලාවත, අඹකදවිල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

    මෙලෙස කොරෝනා වෛරසය ආසාදනයවී ඇත්තේ 28 හැවිරිදි ධීවරයෙක්ට බව සඳහන්.

    මිට පෙර වාර්තා වූ කොරෝනා ආසාදිත හලාවත, අඹකදවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ සමීප ආශ්‍රිතයෙක් බවට සැළකෙන මෙම පුද්ගලයා ඉකුත් මස 30 වෙනිදා පෙර ආසාදිතයා සමග නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා ගොස් ඇත.

    පසුව ඔහු පසුගිය 08 වෙනිදා තවත් ධිවරයින් 06 දෙනෙකු සමග මසුන් මැරීම සඳහා බහුදින ධිවර යාත්‍රාවකින් මුහුදු යාමට පිටත්වී ගොස් ඇත.

    කෙසේ හෝ මෙම ධිවරයාගේ පෙර ආශ්‍රිතයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග ඔහු ගමන් ගත් ධිවර යාත්‍රාව යළි මෙරටට ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇත.

    ඒ අනුව ඊයේ දිනයේදී දික්ඕවිට වරායට සේන්දු වූ එම යාත්‍රාවේ සිටි මෙම ධිවරයාගේ PCR පරීක්ෂණය සිදුකොට ඇති අතර එහිදී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

    මේ හේතුවෙන් එම ධීවරයා සමග මසුන් මැරීමට මුහුදට ගිය සෙසු ධිවරයින් 06 දෙනා එම යාත්‍රාව තුලම නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇත.

    හලාවත, අඹකදවිල ප්‍රදේශයෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිත රෝගියා හඳුනාගැනීමත් සමග එම ප්‍රදේශයේ පදිංචි පවුල් 10 ක පුද්ගලයින් 52ක්, දේවස්ථානයක පියතුමන්ලා දෙදෙනෙකු සහ මාරවිල ප්‍රදේශයේ සාත්තු නිවාසයක විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙක් හා තොඩුවාව ප්‍රදේශයේ කන්‍යාරාමයක කන්‍යා සොහොයුරියන් 05 දෙනෙකු සහ එම ප්‍රදේශයේ පුද්ගලයින් 37 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

     

    පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වැසේ

    පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමා තිබෙනවා.

    ඒ, ඉකුත් සිව්වනදා එම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ එම රෝහලේ හෙදියකගේ දියණියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි.

    පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රාජකාරී කළ අදාළ හෙදිය සහ එහි කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි, රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

    කොරෝනා වෛරස ආසාදනය වූ දියණියගේ ගම්පහ ප‍්‍රදේශයේ මිතුරෙකුට ද මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

     

    රිජ්වේ ළමා රෝහලේ සේවිකාවකට කොරෝනා

    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරනු ලබන කොළඹ 08 ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව‍ට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

    මෙම සේවිකාව බොරැල්ල ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් පොළක නතරවී සිට රැකියාවට පැමිණ ඇති බවත් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය මාසයක පමණ කාලයකින් සිය නිවසට පවා ගොස් නොමැති බවට තොතුරු ලැබී ඇති බවයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය සඳහන් කළේ.

    මේ වනවිට එම සේවිකාව සේවය කළ රෝහල් වාට්ටුව තුළ දැඩි සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවලක් ක්‍රියාත්මක කොට ඇති බවත් කිසිදු අනියත බියක් ඇති කර නොගත යුතු බවයි, රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

     

    ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අවුරුදු දෙකහාමාරක දරුවෙකුටත් කොරෝනා

    කොග්ගල ප්‍රදේශයේ හෝටල් තුනක පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන තුළ මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කෙරෝනා පොකුරේ ආශ්‍රිතයින් 800 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි බවත් ඉන් 204 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවිමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකිරීමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා.

     

    කොරෝනා වෛරසය ආසදානය වු අය අතර වයස අවුරුදු දෙකහමාරක දරුවෙකුට ද සිටින බවත් නමුත් මෙ බිළිදගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංගාරච්චි පවසා සිටියේ.

    නිරෝධායනය වෙමින් සිටි පිරිස අතර හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් 14දෙනෙකු, මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 622 දෙනෙකු හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 164 දෙනෙකු සිටි බව ද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කළේ.

    ඊයේ රාත්‍රී 12.00 පමණ වනවිට මෙම හෝටල් තුන තුළ නිරෝධායනය වෙමින් සිටින්නේ 589 දෙනෙකු බව ද ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා පවසා සිටියා.

    පසුගිය 06 වැනි දින සිට මෙම හෝටල්වල නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කළ බව ඔහු සඳහන් කළා.

    ඊයේ (09) දින මෙම හෝටල්වල සිටි 132 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කළ බවත් එවායේ ප්‍රථිපල ලැබිමට නියමිතව ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා සඳහන් කළා.

    පෙරේදා (08) දිනයේදී පුද්ගලයින් 38 දෙනෙකු.සි.ආර් පරික්ෂණවලට ලක්කළ බවත් ඉන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවට තහවුරුවී තිබෙනවා.

     

    ජ’පුර සරසවි සිසුවියටත් කොවිඩ්

    ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තීරණ විද්‍යා අධ්‍යයනාංශයේ ඉගෙනුම ලබන තෙවන වසර සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    පානදුර රෝහලේ හෙද නිලධාරිනියකගේ දියණියක් වන ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන කාන්තාවකගේ ඥාති දියණියක සමඟ විශ්වවිද්‍යාලයෙන් පිටත පෞද්ගලික නවාතැනක නතර වී සිට ඇති බවයි අනාවරණ වී ඇත.

    කෙසේ වෙතත් විශ්වවිද්‍යාල නිවාඩු ලබාදීමත් සමඟ ඇය පසුගිය සතියේ පානදුර පිහිටි තම නිවස වෙත ගොස් පසුගිය 04 වැනිදා විශ්වවිද්‍යාලයට පැමිණ ඇත.

    ඊයේ (09) දිනයේදී මෙම ශිෂ්‍යාවට සිදුකරන ලද PCR පරීක්ෂණයෙන් ඇයට Covid - 19 වැළඳී ඇති බවට තහවුරු වී ඇත.

    අද (10)දිනයේ දී ඇගේ බෝඩින් කාමරයේ රැඳී සිටි ශිෂ්‍යාවන්ට හා හෙට (11) දිනයේ දී ඇගේ ආශ්‍රිතයන්ට PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

    දැනට කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර වල රැඳී සිටින සිසුන්ට එයින් පිට නොවන ලෙස උපකුලපතිතුමා දැනුම්දී ඇති බව මහා ශිෂ්‍ය සංගමය දැනුම් දී ඇත.

    කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර වල රැඳී සිටින සිසුන්ට අවශ්‍ය ආහාර නේවාසිකාගාර උප ශාලාධිපතිවරුන් හරහා ලබා දෙනු ලබන බව ද ඔවුන් දැනුම් දී ඇත.

     

    ඇල්පිටිය සේවිකාවගේ ආශ්‍රිතයින්ට කොරෝනා නැහැ

    ඇල්පිටිය කැටන්දොල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත බවට හඳුනාගත් ඇගලුම් කම්හල් සේවිකාවගේ ආශ්‍රිතයින් සියලු දෙනාට වයිරසය ආසාදිතවී නොමැති බව තහවුරුවී තිබෙනවා.

    කොරෝනා ආසාදිත බවට හඳුනාගත් ඇගලුම්කම්හල් සේවිකාවගේ ආශ්‍රිතයින් 17 දෙනෙකු පීසීආර් පරික්ෂණ සදහා යොමු කෙරුණා.

    ඔවුන්ගේ වාර්තා නිකුත් වී ඇති අතර, කිසිවෙකුටත් වෛසරය ආසාදනය වී නොමැති බවයි, ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් ලියනආරච්චි මහතා සඳහන් කළේ.

    මෙම සේවිකාවගේ ආශ්‍රිතයින් බවට හඳුනාගත් තවත් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර, ඔවුන්ගේ පීසීආර් පරික්ෂණ ද කඩිනමින් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

    Latest News