වසර 04 අවසන් වීමට පෙර නිවාස ඒකක 36,884 ක්

නොවැ 13, 2020

    දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි අඩු, මධ්‍ය සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරඹන ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුම් දී තිබෙනවා.

    නව තාක්ෂණය සහ ක්‍රමවේද උපයෝගී කර ගනිමින් නිර්මාණශීලි ලෙස සහ පරිසරය සුරැකෙන අයුරින් ඉදිකිරීම් කඩිනම් කළ යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ.

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ආයතන 10ක නිලධාරීන් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

    ඉදිරි තෙවසර තුළ මධ්‍යම පාන්තිකයන් උදෙසා ඉදිකිරීමට අපේක්ෂිත නිවාස සංඛ්‍යාව 15,000 ක්.

    අඩු සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන්ගේ ද ඉල්ලුම සැපයෙන පරිදි සිව් වසරකදී නිවාස ඒකක 36,884 ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරනවා.

    පෑලියගොඩ, කොළොන්නාව, බ්ලුමැන්ඩල්, කොට්ටාව – මාකුඹුර, කොට්ටාව – පළතුරුවත්ත, බොරලැස්ගමුව, මාළඹේ, මහනුවර – ගැටඹේ සහ අනුරාධපුර නගර කේන්ද්‍ර කර ගනිමින් පළමු අදියරේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙනවා.

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත දේශීය කර්මාන්තකරුවන්ට ඊට එක්වීමට අවස්ථාව සැලසෙන අතර විධායක, ව්‍යවසායක සහ සියලු ක්ෂේත්‍රවල නිරත විශාල තරුණ පිරිසකගේ නිවාස ඉල්ලුම සපුරාලීම ඉන් අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා පවසා තිබෙනවා.

    ඒ සඳහා වසර 30කින් ගෙවා නිම කළ හැකි පරිදි සහන පොලී අනුපාතයකට ණය සැපයීමට වාණිජ බැංකු දායක කර ගැනෙනවා.

    ඉදිකිරීම් ඇරඹීමත් සමග ඊට අවශ්‍ය භාණ්ඩ සම්පාදනය මගින් රැකියා අවස්ථා රැසක් උත්පාදනය වනු ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන් අතර කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් නොනැවති සියලු ක්‍රියාකාරකම් උපරිමයෙන් කරගෙන යාමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළා.

    සියලු වැඩබිම් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් ක්‍රියාත්මක විය යුතුයි.

    මේ ව්‍යාපෘති රටේ ආර්ථිකයට ද ශක්තියත් වනු ඇතැයි, ජනාධිපතිතුමා අපේක්ෂා කෙරෙනවා.

    Latest News