රිෂාඩ්ට කොවිඩ්-19 වැළදීමේ අවදානමක් (වීඩියෝ)

නොවැ 17, 2020
  • රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට කොවිඩ්-19 වෛරසය වැළදීමේ අවදානමක් ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ජනාධිපති කොමිසමට දැනුම් දුන්නා.

    එහිදි ජනාධිපති කොමිසම හමුවේ කරුණු දක්වමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ටි හබීබ් මහතා කියා සිටියේ තම සේවාදායකයා මේ වන විට රදවා ඇති වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ E වාට්ටුවේ 10 වන කුටියේ අනෙක් පසින් පිහිටි 9 වන කුටියෙන් කොවිඩ්-19 අසාදිතයෙක් හදුනාගෙන ඇති බවයි.

    අදාළ අසාදිත රැදවියා කන්දකාඩු කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර තිබුනද මේ වන තෙක් එම E වාට්ටුවේ සිටින රැදවියන් 38 දෙනාගෙන් කිසිවෙකුගේ PCR පරික්ෂණ සිදුකිරීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කර නොමැති බව නීතිඥවරයා ජනාධිපති කොමිසමට දැනුම් දුන්නා.

    එබැවින් තම සේවාදායකයා ජනාධිපති කොමිසම හමුවට පැමිණිමට පෞද්ගලිකව කැමති වුවද, ඔහුව පවතින වතාවරණය හමුවේ ජනාධිපති කොමිසමට නොකැදවා Skype තාක්ෂණය ඔස්සේ ඔහුට ජනාධිපති කොමිසමේ පරික්ෂණ කටයුතු හා සම්බන්ධවීමට අවසර ලබාදෙන ලෙස නීතිඥවරයා ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කළා.

    මේ අතර කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ජනාධිපති කොමිසමේ වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදින් මේ දිනවල කොමිසම් සභාවෙන් පිටත රදවා ඇති පසුබිමක රිෂාඩ් බදියුදින් මහතා නියෝජනය කරමින් පැමිණි පුද්ගලයෙකු මාධ්‍යවේදින් අතර රැදී සිටිමින් කොමිසම් සභාවේ සාක්ෂි විමසීම් පටිගත කරමින් සිටියදි කොමිසම් සභාවට අනියුක්ත පොලිස් නිලධාරින් විසින් සොයාගනු ලැබුවා.

    අදාළ සිදුවීම සහ රිෂාඩ් බදියුදින් මහතා නියෝජනය කරමින් පෙනී සිටි නීතිඥවරයා විසින් තම සේවාදායකයාට කොමිසම් සභාවේ කටයුතුවලට බන්ධනාගාරයේ සිට සම්බන්ධවීමට අවස්ථාව ලබාදෙන ලෙස කළ ඉල්ලීම කෙරෙහි සිය අවධානය යොමු කළ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අද දින සිදුවු සිදුවීම හේතුවෙන් රිෂාඩ් බදියුදින් මහතාගේ පාර්ශවය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වී ඇති බැවින් ඔහුට බන්ධනාගාරයේ සිට කොමිසම් සභාවේ කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව ලබාදිය නොහැකි බවයි.

    Last modified on අඟහරුවාදා, 17 නොවැම්බර් 2020 20:05

    Latest News