අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් සලකා බැලීම ඊයේ සහ අද දිනයේ සිදු විය.
පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත මෙම පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.
මෙම පෙත්සම් ඊයේ දින සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි එම්.ඒ. සුමන්දිරන්, ෆයිසර් මුස්තාපා, සාලිය පීරිස්, නිශාම් කාරියප්පර් යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිවේදීන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණේ කොවිඩ් ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර භූමදානය කිරීමෙන් පසුව එම මෘත ශරීරවලින් වෛරසය ව්‍යාප්ත වීමක් සිදු වන බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය කරගෙන නොමැති බවයි.
ලෝකයේ රටවල් 189 ක පමණ කොවිඩ් ආසාදිත මෘත ශරීර භුමදානය කිරීමට අවසර දී ඇතැයි පෙන්වා දුන් එම නීතිඥවරුන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එම මළ සිරුරු භූමදානය කිරීමට අනුමැතිය ලබාදී තිබෙන බවද සඳහන් කර තිබිණ.
නීතිපතිවරයා සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා තිබුනේ කොවිඩ් වෛරසය ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයින් ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙන්නේ ඒ හරහා අදාළ වෛරසය සමාජය තුළ තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් යයි ප්‍රකාශ කර තිබිණ.
කොවිඩ් වයිරස ව්‍යාප්තිය සිදුවන ආකාරය පිළිබඳව විද්‍යාඥයින් තවමත් අවසන් තීන්දුවකට පැමිණ නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටින පසුබිමක කොවිඩ් ආසාදිත මෘත ශරීරවලින් එම වෛරසය ආසාදනය නොවන බවට පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන තර්කය පිළිගත නොහැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඊයෙ දින සඳහන් කර තිබිණ.
අද දින වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කොවිඩ් අසාදිත පුද්ගලයින් මරණයට පත් වූ විට අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව කරුණු ඇතුලත් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවත් ඒ තුළින් කිසිදු පාර්ශ්වයකගේ මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදු නොවන බවටත් අවධාරණය කර සිටියේය.
අතරමැදි පාර්ශවකරුවන් කිහිපදෙනෙක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද අධිකරණය හමුවේ කියා සිටියේ කොවිඩ් ආසාදිත මළසිරුරු භූමදානය කිරීමෙන් පසු පස් හරහා ද එම වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවයි.
ශ්‍රී ලංකාව කොවිඩ් වයිරසය සමග සටන් වදිමින් සිටින මෙම අවස්ථාවේ එම වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ආසාදිත මෘතශරීර ආදාහනය කළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණයකට එළැඹ තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තකා සිදුකරනු ලබන මෙම ක්‍රියාවෙන් කිසිදු පාර්ශවයක මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදු නොවන බව ද අවධාරණය කළේය.
මේ හේතුවෙන්දා අදාළ පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් සියල්ල බහුතර විනිසුරුවරුන්ගේ එකගත්වය මත ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කළේය.
කොරෝනා වසංගතයෙන් මරණයට පත් වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම අභියෝගයට ලක් කරමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ ඥාතීන් ඇතුළු පාර්ශව 11ක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතීකයින්ගේ සිරුරු ආදාහනය කිරීම ඔවුන්ගේ සංස්කෘතික පැවැත්මට පටහැනි බවයි.
ඒ අනුව මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙසත් කොවිඩ් ආසාදනයෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කළ යුතු බව දන්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.