තැරුව්කරුවන් මුදල් ගිලින ප්‍රවාහන වෛද්‍ය ඒකකය

ජන 24, 2019

    නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය වාර්තා ලබාගැනීමට දෛනිකව දහසකට ආසන්න පිරිසක් පැමිණෙන ස්ථානයක්.

    එහෙත් අදාළ සේවය ලබාදීම සඳහා එම ස්ථානයේ කලක සිටම මුදල් ගැනීමේ ජාවාරමක් සිදුවනවා. අප ඒ ගැන විශේෂ අවධානයකින් පසුවුණා. මේ හෙළිදරව්ව ඒ පිළිබඳව. වෛද්‍ය වාර්තා ලබාගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත දිනපතා විශාල පිරිසක් පැමිණෙන බැවින්, එසේ එන අයට දිගු වේලාවක් පෝලිමේ සිටිමට ද සිදුවනවා.

    අවශ්‍ය සේවය සැලසීම සඳහා පෝලිම්වල සිටින ජනතාවගෙන් මුදල් ලබාගන්නා තැරැව්කරුවන් කිහිප දෙනෙකු පිළිබඳව කලක සිටම තොරතුරු වාර්තා වුණා. ඔවුන් මෙය සිදු කරන්නේ, ත්‍රිරෝද රථ රියදුරන් ලෙස පෙනී සිටිමින්. ජාවාරම සඳහා දිනපතා ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත පැමිණෙන මෙම තැරැව්කරුවන්, සේවය අපේක්‍ෂාවෙන් සිටින අයගෙන් එක් අයෙකුගෙන් රුපියල් 2500ක මුදලක් ගෙන වෛද්‍ය වාර්තා ලබාදීම සඳහා එම පුද්ගලයින් වෛද්‍යවරුන් වෙත යොමු කරමින් සිටිනවා.

    ඔවුන්ම පවසන පරිදි යම් යම් ශාරිරික දුර්වලතා සහිත පිරිස් සඳහා ද රියදුරු බලපත්‍රයට අවශ්‍ය වෛද්‍ය වාර්තා ලබාගැනීමට තැරැව්කරුවන්ගේ මැදිහත්වීම සිදුවනවා.
    මෙවැනි ජාවාරම්කරුවන් ගැවසෙන රටේ එකම ස්ථානය මෙය නොවුවත් ඔවුන් සියලු දෙනා ජනතාව පෙළන මෙවැනි කටයුතුවල නිරතව සිටින්නේ, වගකිව යුතු ආයතන ඒවා වැළැක්වීමේ නිසි ක්‍රමවේදයක් සකසා නොමැති නිසාවෙන් බවටයි චෝදනා එල්ල වන්නේ.

    එවැන්නක් කෙදිනක කෙසේ සිදුවේදැයි යන්න පිළිබඳව ද ඇත්තේ අවිනිශ්චිත තත්වයක්. තැරැව්කරුවන් ඒතාක් තම සියලු ජාවාරම් රිසි පරිදි පවත්වාගෙන යනු ඇති. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සිදුවන මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් බලධාරීන් ක්‍රියාකරන ආකාරය පිළිබඳව අප දැඩි අවධානයෙන්.

     

     

     

     

    Last modified on සෙනසුරාදා, 26 ජනවාරි 2019 16:09

    Latest News