මාර්තු පළමු සතිය "සෞභාග්‍ය සතිය" ලෙස නම් කරනවා; බැසිල් රාජපක්ෂ (වීඩියෝ)

පෙබ 09, 2021
  • මාර්තු පළමු සතිය "සෞභාග්‍ය සතිය" ලෙස නම් කරන බව, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    ඒම සතිය තුළ අයවැය යෝජනා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ "වෙළෙඳ නිවස" සංකල්පය යටතේ කාන්තා හා තරුණ ව්‍යවසායකයින් බිහි කිරීමේ දෙවන සාකච්ජාවට අද ඒක්වෙමින්. ඒය පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී.

    මෙවර අය-වැය මගින් යෝජිත ග්‍රාමීය මට්ටමින් කාන්තා හා තරුණ ව්‍යවසායකයින් බිහි කිරීමේ වැඩසටහන යටතේ තෝරාගත් ව්‍යවසායකයින් වෙත පුහුණු හා උපදේශන වැඩසටහන් ලබන මස දෙවැනිදා සිට 08 දක්වා ක්‍රියාත්මක කිරීමට හැකි බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    ඔහු පෙන්වා දුන්නේ, මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී දිවයිනම ආවරණය වන ශක්තිමත් දෙපාර්තමේන්තුව වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට විශේෂ වගකීමක් පැවරෙන බවයි.

    විරැකියාවෙන් පෙලෙන සමෘද්ධිලාභීන් ජීවනෝපාය සංවර්ධන කටයුතුවලට යොමු කර ශක්තිමත් ආර්ථිකයක් ඇති පිරිසක් ලෙස බලගැන්වීම සඳහා ප්‍රාදේශීය සම්බන්දධිකරණ කමිටුවල සහය ද ඇතිව කටයුතු කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    2021 අය-වැය යෝජනාවේ සඳහන් පරිදි අඩු ආදායම්ලාභී පවුල් දෙලක්ෂයක් සවිබල ගැන්වීමට අපේක්ෂිතයි.

    මෙම වෙළෙඳ නිවස තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ග්‍රාමීය මට්ටමෙන් නිෂ්පාදිත භාණ්ඩ පාරිභෝගිකයන්ට සහන මිලට ලබාගැනීමේ අවස්ථාව සැලසේ.

    ග්‍රාමීය නිෂ්පාදන ඒකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස ද වෙළෙඳ නිවස ක්‍රියාත්මකයි. බැසිල් රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යාංශ හා ආයතන වෙත උපදෙස් දුන්නේ නිවසටම සම්බන්ධ වූ වෙළෙඳසැලක් සහිත මෙම වෙළෙඳ නිවසේ සැලැස්ම නිර්මාණය කිරීම, අදාළ ඉඩම් තෝරා ගැනීම හා ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙසයි.

    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ලසන්ත අලගියවන්න, ෂෙහාන් සේමසිංහ, පියල් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ යන රාජ්‍ය අමාත්‍යවරු ද, රාජ්‍ය නිලධාරින් පිරිසක් ද සාකච්ජාවට ඒක්වූහ.

    Last modified on අඟහරුවාදා, 09 පෙබරවාරි 2021 21:17

    Latest News