අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම වෙයි

පෙබ 18, 2021

    ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ අයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ යොමු කළ නඩුවක් මාර්තු මස 22 කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී මෙම නඩුවේ 4 වන සාක්ෂිකාරිය ලෙස නම් කර සිටින ඕස්ට්‍රේලියාවේ පදිංචි තැනැත්තියක් පදිංචිව සිටින ස්ථානය පිළිබඳව තොරතුරු තමන්ට දැනගන්නට ලැබී තිබෙන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට දන්වා සිටියා.

    එම අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ සාක්ෂි කාරිය පදිංචිව සිටින ස්ථානය පිළිබඳව තොරතුරු පැමිණිල්ල වෙත ලබා දෙන්නේ නම් ඇය සාක්ෂිය සදහා කැඳවීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවයි.

    ඒ අනුව නඩුව නැවත මාර්තු මස 22 වනදා කැදවීමට දින නියම වුණා.

    1996 වසරේ ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් නැමැත්තාට අයත් ඩිජිටල් නොමිනීස් නමැති සමාගමක කොටස්, ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් යොදාගෙන විකුණා රුපියල් මිලියන 20 ක පමණ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News