සියලු පළාත් ආවරණය වන පරිදි කසළ මගින් විදුලිය නිපදවන බලාගාර ඉදි කිරීමට පියවර

පෙබ 24, 2021

    යාපනයේ ඩෙල්ෆ් දූපත්වල ඉදිකෙරෙන විදුලි බලාගාර සම්බන්ධ කොන්ත්‍රාත්තුව තවමත් ලබා දී නොමැති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මෙහිදී ස්ථිර වශයෙන්ම දූපත් බදු දීමක් සිදු නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා අපේ රටේ න්‍යාය පත්‍රය වෙන කිසිම රටකට යට නොකරන බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චම්න්ද විජේසිරි මහතා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    දීර්ඝ කාලයක් තිස්සේ විදුලිය නොමැතිව සිටි යාපනයේ දූපත් ප්‍රදේශවල ජනතාවට විදුලිය ලබා දීම ජාතික අවශ්‍යතාවක් බව සඳහන් කළ අමාත්‍යවරයා ආසියානු සංවර්ධන බැංකුව මේ සඳහා මැදිහත් වී ඇති බවත් ඔවුන් විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියකට අනුව මෙම ටෙන්ඩර් කැඳවීම් සිදු කර අතැයිද කීය.

    පළමු ටෙන්ඩර් කැඳවීම අසාර්ථක වූ බැවින් නැවතත් එම ටෙන්ඩර් කැඳවීම් සිදු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, චීනය සහ ඉන්දියාව ඒ සඳහා ඉදිරිපත් වූ බවත්, අඩුම ලංසු තැබීම සිදු කර ඇත්තේ චීනය බවත් සඳහන් කළේය.

    එහෙත් තවමත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා ඉදිරිපත් වී නොමැති බව අමත්‍යවරයා අවධාරණය කළේය.

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳවැටීම් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ හිටපු ජනාධිපති,වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩි විවේචන මධ්‍යයේ ඉදි කළ මෙම විදුලි බලාගාරය නොතිබුණි නම් අද බරපතල බලශක්ති අර්බුදයකට මුහණු දීමට සිදු වනු ඇති බවයි.

    ලංකාවේ සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඩ්‍රයි ඈෂ් මෙතෙක් කලක් චීනයෙන් ආනයනය කල බව පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේ දී කොළඹ වරාය නගරයට අවශ්‍ය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ගඩොල් සියල්ල නොරොච්චෝලේ බලාගාරයෙන් ඉවතලන ඩ්‍රයි ඈෂ් වලින් නිපදවීමට කටයුතු කරන බවයි.

    ඉදිරියේදී ලංකාවේ පළාත් නමයම ආවරණය වන පරිදි කසළ මගින් විදුලිය නිපදවන බලාගාර ඉදිකරන බවත් නව රජය යටතේ කසළ කළමණාකරණය වෙනුවෙන් නාලක ගොඩහේවා අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් වෙනම අමාත්‍යංශයක් පවා පත් කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා කරදියාන කසළ කළමණාකරණ කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් පැහැදිළි කළේය.

    Latest News