එය හෙට (06) උදේ 10.00 ට මාඳුරාගම ක්‍රිඩාපිටියේ දී ඇරඹේ. දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීහූ සහ නිලධාරීහු ජනාධිපතිතුමා සමග එක් වෙති.
ජනාධිපති රාජපක්ෂ මැතිතුමා “ගම සමග පිළිසඳර” වැඩසටහන සැලසුම් කළේ දේශපාලන බලධාරීන් හා නිලධාරීන් කැටුව තමාම ගමට ගොස් ගැමි ජනතාව පෙළන ආර්ථික සමාජ ගැටළු සියැසින් දැක ඒවාට සවන් දී කඩිනම් විසඳුම් දීමෙන් ග්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමේ අරමුණ ඇතිවය.
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 70%ක් පමණ තවමත් ග්රාමීයව ජීවත්වන පිරිසකි. ඔවුන්ගෙන් 35%ක් දෙනා ජීවනෝපාය සලසා ගනුයේ කෘෂිකාර්මික රැකියාවන්හි නිරත වීමෙනි. මේ ජනතාව දිගුකලක සිට විවිධ වූ ආර්ථික, සමාජ ගැටළු සමුදායකින් පීඩා විඳිති. ඉඩම් හිඟය, නිරවුල් ඉඩම් ඔප්පු නොතිබීම, පානීය සහ වගා ජල හිඟය, මාර්ග හා ප්‍රවාහන දුෂ්කරතා සෞඛ්‍ය සහ අධ්‍යාපන ප්‍රශ්න, අලි මිනිස් ගැටුම, නිලධාරී තන්ත්රයේ උදාසීන බව ඒ අතර ප්‍රමුඛස්ථානය ගනී. ගැමි ජනයා වෙතින් ගැටළු හඳුනාගෙන ඔවුන්ගේම අදහස් හා යෝජනා පාදක කර ගනිමින් රාජ්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව ඒවා විසඳීම මේ වැඩසටහෙන් දී සිදු කෙරේ. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ.
ගැමි ජනතාව පීඩාවට පත් කරන ප්‍රශ්න එක් පාර්ශ්වයක කෝණයෙන් පමණක් බලා තේරුම් කිරීම විසඳුම් පමාවට හේතුවක් බව ජනාධිපතිතුමා අදහස් කරයි. නිලධාරීහූ එක් ආකාරයකටත්, ගැමියා තවත් ආකාරයකටත් ප්රශ්නය දකිති. ප්රශ්නයේ සියලු පැති නිවැරදිව හඳුනා ගැනීමෙන් විසඳුම් දීම පහසු බවත්, කඩිනම් කළ හැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දෙයි. මෙතෙක් පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහන්වලදී මේ මාදිලිය උපයෝගී කර ගනිමින් ප්‍රශ්න ගණනාවකට එසැණ සහ පසුකාලීන විසඳුම් දීමට හැකි විය.
2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ.
හෙට “ගම සමග පිළිසදර” සඳහා තෝරාගෙන ඇති ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට සහ ගල්ගමුව ප්‍රදේශයට මායිම්ව පිහිටා තිබේ. කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් ගණන 35කි. වේරගල වැඩිම දරිද්‍රතාව සහිත හා දුෂ්කරතම ගම්මානය ලෙස හඳුනාගෙන ඇත. මාඳුරාගම ද ඊට අයත්ය. පවුල් 147ක් වෙසෙන වසමේ ජනගහණය 533කි. වේරගල සහ අවට ගම්මානවල වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තයයි. ඔව්හු සත්ව පාලනය, වඩු හා ගඩොල් කර්මාන්තය වැනි ස්වයං රැකියාවලද නිරත වෙති.
ගිරිබාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගම්මානවල ජනතාව සෙසු ප්‍රදේශවලට ද පොදු ප්‍රශ්න රැසකින් පීඩා විඳිති. පානීය සහ වගා ජල හිඟය, වන අලි උවදුර, මාර්ග හා ප්‍රවාහන දුෂ්කරතා, වැව් අමුණු කැඩි බිඳී යාම, පාරම්පරික වගා ඉඩම් නිරවුල් කර ගැනීම, අධ්‍යාපන හා සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනීම, යටිතල පහසුකම් ඌනතා ඒ අතර ප්‍රධාන තැනක් ගනී.