දකුණු පළාතේ ප්‍රථම “ගම සමග පිළිසඳර” හෙට (13) ....

මාර් 12, 2021

    දකුණු පළාතේ “ප්‍රථම ගම සමග පිළිසඳර” වැඩසටහන ගාල්ල දිස්ක්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දී හෙට (13) පැවැත්වේ.

    මෙය වැඩසටහන් මාලාවේ 14 වැන්නයි. උදේ 10.00ට ඇරඹෙන ගැමි හමුව සඳහා ගලගොඩ, නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ජනපද කණිටු විදුහල තෝරාගෙන තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, විවිධ ආයතන ප්‍රධානීහූ සහ නිලධාරීහූ ඊට සහභාගී වෙති.

    ජනාධිපතිතුමා “සෞභාග්‍යයේ දැක්ම” සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඵලදායී, පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක, විනයගරුක, සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජය ගැනීමේ ප්‍රතිඥාව ජනතාව හමුවේ තැබීය.

    මේ පුළුල් පරමාර්ථය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 70%ක් පමණ වන ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ගැටලු නිවැරදිව හඳුනාගෙන කඩිනමින් ආමන්ත්‍රණය කළයුතු බව ජනාධිපතිතුමා විශ්වාස කරයි.

    ගැමි ජනතාව විවිධ වූ ආර්ථික, සමාජ ගැටලු සමුදායකින් දිගුකලක සිට පීඩා විඳිති. නිලධාරීන් කැටුව තමාම ගමට ගොස් ජනතා ගැටලු සියැසින් දැක ජනතාවට සවන් දී කඩිනමින් විසඳුම් දීමෙන් ග්‍රාමීය අංශයේ අභිවෘද්ධිය සැලසීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අවසන් ඉලක්කය වී තිබේ.

    “ගම සමග පිළිසඳරේ දී” හඳුනා ගන්නා ගැටලු ගැමියන්ගේම අදහස් සහ යෝජනා පාදක කර ගනිමින් රාජ්‍ය නිලධාරින්ගේ සහය ඇතිව බොහෝ විට එසැණින් විසඳනු ලැබේ. විසඳීමට කල්ගත වන ගැටලු පසුව ආමන්ත්‍ර ණය කරනු පිණිස සටහන් කර ගැනේ. සියලු පැති විවිධ පාර්ශ්වයන්ගේ කෝණයෙන් බලා නිවැරදිව තේරුම් ගැනීමෙන් විසඳීම පහසු බවත්, කඩිනම් කළ හැකි බවත් ජනාධිපතිතුමා කියා සිටී.

    “ගම සමග පිළිසඳර” වැඩසටහන 2020 සැප්තැම්බර් 25 දින බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙලංවිට ගම්මානයෙන් ආරම්භ විය. ඉන් පසු මාතලේ, රත්නපුර, අනුරාධපුර, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැඩසටහන් සංවිධාන කෙරිණ.

    හෙට “ගම සමග පිළිසඳර” සඳහා තෝරාගෙන ඇති හික්කඩුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට සහ රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් ගලබොඩ, නැගෙනහිර ග්‍රාම සේවා වසම අම්බලන්ගොඩ නගරයේ සිට කි.මි 7ක් දුරින් පිහිටා තිබේ.

    වසමේ විශාලත්වය අක්කර 444කි. පවුල් 1072කට අයත් 3711ක ජනගහණයක් එහි වෙසෙති. ධීවර කර්මාන්තය, කෘෂිකර්මය, කුරුඳු සහ කොහු ලණු කර්මාන්ත ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග වේ. ගලබොඩ සහ අවට ගම්මානවල ජනයා මුහුණපා සිටින පොදු ප්‍රශ්න දැනටමත් හඳුනාගෙන තිබේ.

    සුනාමි ව්‍යසනයෙන් පසු නැවත පදිංචිවූවන්ගේ ඉඩම් ගැටලු, මත්ද්‍රව්‍ය සහ වෙනත් නීති විරෝධී ජාවාරම්, පාරම්පරික කළුගල් කර්මාන්තයට පවතින බාධක, පානීය ජල හිඟය, ධීවර වරාය සහ මෝය ආශ්‍රිත ගැටලු, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර රජයේ කාර්ය මණ්ඩල සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

    Latest News