ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති අත්අඩංගුවට (වීඩියෝ)

මාර් 13, 2021
  • මෙරට තුළ වහබ්වාදය සහ ජිහාඩ් මතවාදය පැතිරවීම සම්බන්ධයෙන් ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති රෂීඩ් හජ්ජුල් අක්බාර් නමැත්තා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ, දෙමටගොඩ ප්‍රදේශයේදී. 60 හැවිරිදි ඔහු මාවනැල්ල, මුරුතවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් වූ ෂාහිඩ් හා සාදික් අබ්දුල්හක් සොහොයුරන්ගේ ළඟම ඥාතියෙකු බව ද පොලිසිය පවසයි.

    ජමාතේ ඉස්ලාම් නමැති සංවිධානය විසින් පළකරනු ලබන “අල් හසනාත්“ නමැති සඟරාව ඔස්සේ මෙම සැකකරු විවිධ ලිපි පළකර ඇති බව ද පොලිසිය හෙළි කරගෙන තිබේ. ඒවා මගින් වහබ්වාදය හා ජිහාඩ් මතවාද ව්‍යාප්ත කිරීමට උත්සාහ දරා ඇති බව පොලිසිය පවසයි. තවද සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අතර විසංවාදයක් ඇතිවන ආකාරයේ හා නොමඟ යවන සුළු ලිපි එම සඟරාවේ පළකර ඇති බව ද මේ වනවිට හෙළි වී තිබේ.

    රෂීඩ් හජ්ජුල් අක්බර් නමැත්තා සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන සිදුකරන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    Last modified on සෙනසුරාදා, 13 මාර්තු 2021 20:22

    Latest News