ආකේඩ් පරිශ්‍රයෙන් යළිත් නව අංග රැසක්

මාර් 23, 2021

    කොළඹ ආකේඩ් පරිශ්‍රය පෞද්ගලික පොදු සහයෝගිතාවය යටතේ වැඩිදියුණු කර නව අංග රැසක් හඳුන්වා දී එමඟින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කරයි.

    වර්තමාන අග්‍රාමාත්‍ය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිටියදී මෙම ආකේඩ් නිදහස් චතුරස්‍ර සංකීරණය ඉදිකරන ලදී.

    මෙය ප්‍රථම වතාවට බදු දීම සඳහා ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන සොෆ්ට්ලොජික් සමාගම සහ නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය දා කුලී බදු ගිවිසුමකට අත්සන් තැබීය.

    පසුගිය යහපාලන රජය යටතේ මෙම ආකේඩ් පරිශ්‍රය නිසියාකාරව නඩත්තු කර තිබුණේ නැත.

    බත්තරමුල්ල, සුහුරුපාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී මෙම බදු ගිවිසුම අත්සන් තැබිණ.

    වසර 10 ක කාලයකට යටත්ව ක්‍රියාත්මක වන මෙම බදු ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, සොෆ්ට්ලොජික් සමාගමේ උප සභාපති හරේෂ් කයිමාර් යන මහත්වරුන් අත්සන් තැබිණ.

    මෙහිදී අත්සන් තැබූ බදු ගිවිසුම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සහ සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් අතර හුවමාරු කෙරිණ.

    අත්සන් කළ බදු ගිවිසුම වසර 10ක කාලයකට බල පැවැත්වෙයි.

    ඒ අනුව ආකේඩ් පරිශ්‍රයේ අයිතිය හැර, එහි සියලු කටයුතු නිදහසේ කිරීමේ අයිතිය සොෆ්ට්ලොජික් සමාගමට හිමිවිණ.

    ඒ යටතේ කළමනාකරණය, නඩත්තුව, මෙහෙයුම්, ගොඩනැගිලි භාවිතය ඇතුළු සියලු සේවාවන් පවත්වාගෙන යාමට අවසරය හිමි වෙයි. තව ද පරිශ්‍රය සඳහා සුදුසු ව්‍යාපාර ස්ථාන ඇති කිරීම, මුදල් පාලනය ඇතුළත් අවස්ථාවන්වල ද හිමිකම පැවරෙයි.

    අක්කර හතරහමාරක විශාලත්වයකින් යුත් ආකේඩ් පරිශ්‍රය කඩ කාමර 42 කින් සමන්විතයි. පශ්චාත් යුධ සමයේ ශ්‍රී ලංකාවට කඩිනම් සංවර්ධන සැලැස්මක් ඇති කිරීම උදෙසා නගර සංවර්ධනය කිරීම කෙරෙහි මූලික අවධානය යොමු කෙරිණ.

    ඒ යටතේ වත්මන් කොළඹ නගරය, පැරණි කොළඹ නගරය ලෙස යළි ස්ථාපිත කිරීමත්, පැරණි කොළඹ පැවති ගොඩනැගිලි සම්ප්‍රදායක් සංරක්ෂණය කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතුවිණ.

    ඒ අනුව නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශ පැරණි බව සුරකිමින් ජනතාවට නිදහසේ ගැවසිය හැකි විවෘත ප්‍රදේශ ලෙස පවත්වාගෙන යාම සඳහා ආකේඩ් පරිශ්‍රය සකස් කෙරිණ.

    වඩාත් නූතන නගර සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරමින් පැරණි සහ පෞරාණික බව රකිමින් ලාංකික ජන සමාජය හඳුන්වා තිබූ දූපත් වැසියන් යන නාමයෙන් මිදීම මෙහි තවත් එක් අරමුණක් වී තිබේ.

    Latest News