රවී ඇතුළු විත්තිකරුවන් අටදෙනා ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

මාර් 24, 2021

    2016 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ලද බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98 ක් වටිනා බැඳුම්කර සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් අටදෙනා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

    දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළේය. මෙම චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 07 කගේ ඇප ඉල්ලීම්වලට අදාල කරුණු දැක්වීම් ඔවුන්ගේ නීතිඥවරු විසින් ඊයේ අවසන් කොට තිබුණා.

    අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නඩුවේ 11 වන විත්තිකරු ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙකු වන ඉන්දික සමන් කුමාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සිය ඇප ඉල්ලීමට අදාළ කරුණු ඉදිරිපත් කිරීම් සිදු කළේය.

    එම කරුණු දැක්වීමේ අවසන් වීමෙන් පසුව වැඩිදුර විභාගය මේ මස 30 වැනිදා දක්වා කල් තැබීමට තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම ඇප ඉල්ලීම්වලට අදාල නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසූන් පලිසේන, චිත්ත රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාර්දිය පුංචිහේවා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වන එස්. පදුමනාභන්, ඉන්දික සමන් කුමාර යන විත්තිකරුවන් ද අධිකරණයට ඉදිරිපත් කර තිබූණ.

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන දෙදෙනාද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින අතර ඔවුන් මේ වන විට විදේශ ගතව සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා කර තිබෙනවා.

    2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.98 ක් බැදුම්කර සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව චෝදනා 32 ක් යටතේ නීතිපතිවරයා විසින් මේ මෙම නඩුව ගොනු කර තිබේ.

    Latest News