රංජන් රාමනායකගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

අප්‍රේ 05, 2021

    සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර හතරක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළේ මෙම පෙත්සම තුල කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

    ඒ අනුව පෙත්සම ප්‍රතික්ෂේප කරන බව ද විනිසුරුවරයා සඳහන් කළේය.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබිණ.

    සිරදඬුවම් නියම වී සිටින රංජන් රාමනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් සඳහන් කර තිබුණේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිර දඬුවම් නියම වී සිටින තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි .

    තමන්ට සිර දඬුවම් නියම වී තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බවත් එය අපරාධමය ගණයට අයත් නොවන වරදක් හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා මීට පෙර මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ.

    එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කරමින් පෙත්සම්කාර රන්ජන් රාමනායක මහතා ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව පෙන්වා දුන්නේය.

    අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.

    ඒ අනුව අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

    Latest News