මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිරගත නොකොට;රටේ ශ්‍රමදායකත්වයට - ඇමති නාමල්

මැයි 08, 2021

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිරගත නොකොට, වෘත්තීය පුහුණුවක් ලබාදී රටේ ශ්‍රමදායකත්වයට එක්කර ගත යුතු යැයි, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ පංචවිධ කරුණු අතර මත්ද්‍රව්‍ය සමාජයෙන් තුරන් කිරීම ප්‍රමුඛ ගණයේලා සැලකෙන බවයි, අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ පසුගියදා පැවති සාකච්ජාවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මත්ද්‍රව්‍ය රටට ගෙන්වීම නතර කිරීම, මත්ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම අඩු කිරීම, මත්ද්‍රව්‍යයට යොමු වූ පුද්ගලයින් බන්ධනාගාර ගත කිරීම යන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරිණ.

    මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම සහ එහි ඉල්ලුම අවම කිරීම සඳහා මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව සාකච්ජාවේ දී හෙළි විය.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිරගත නොකොට පුනරුත්ථාපනය කර වෘත්තීය පුහුණුවක් ලබාදෙමින් සමාජයට එලදායී පුරවැසියන් කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබේ.

    අපේක්ෂිත ව්‍යාපෘති සැලැස්මක් ඉදිරිපත් කෙරුණු අතර එහිදී බන්ධනාගාර ගත කළ යුතු, සමාජ ගත කළ යුතු හා වෙනත් නේවාසික පුනරුත්ථාපනය කළ යුතු අය ලෙස මේ ව්‍යාපෘති සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු බවයි, අවධාරණය කෙරුණේ.

    ඒ සඳහා විධායක හා කළමනාකරණ කමිටු පත් කෙරුණු අතර ඊට අදාළ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා විවිධ ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් එය නිර්මාණය කිරීමට ද තීරණය කෙරිණ.

    සාකච්ජාවට අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරු ද එක්ව සිටියේය.

    Latest News