ඇඳන් 10,000ක් ප්‍රදානය කිරීමේ ජාතික ව්‍යාපෘතිය අමාත්‍ය නාමල්ගේ නිරීක්ෂණට

මැයි 09, 2021

    දින 10න් ඇඳන් 10,000ක් ප්‍රදානය කිරීමේ ජාතික ව්‍යාපෘතියට එක්වෙමින් ඒ වෙනුවෙන් වෙහෙසෙන තරුණ තරුණියන් ඇතුළු පිරිසට දිරි දීම සඳහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (09) දින මාතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවන්ට එක්වූයේය.

    මෙම නිරීක්ෂණ චාරිකාවන්හි දී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදාළ ඇඳන් සකස් කරන ස්ථානවලටම ගොස් ඔවුනොවුන් හමුවී සාකච්ඡා කරමින් ඔවුන්ට දිරියක් වීම විශේෂත්වයකි. තංගල්ල පල්ලිය ඉදිරිපිට තරංග අයන් වර්ක්ස් ස්ථානයෙන් අද දින නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අමාත්‍යවරයා මාතර, දෙවිනුවර හා දික්වැල්ල ප්‍රදේශවල ව්‍යාපෘතියට අදාළව ඇඳන් සැකසෙන ආකාරය එහි දී නිරීක්ෂණය කළේය.

    රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටි අතර, එහි දී මෙම කාර්යය ඉටු කිරීමේ දී ඇතිවන දුෂ්කරතාවන් අවම කර ගැනීමට අවශ්‍ය පහසුකම් හා උපදෙස් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ලබා දෙන ලදි.

    අනතුරුව මාතර ජාතික තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේ දී ඇඳන් සැකසෙන ආකාරය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා වැලිගම ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ සහ දෙනිපිටිය චම්පික අයන් වර්ක්ස් හි සිට මෙම කාර්යයට දායකත්වය සපයන තරුණ පිරිස් සමඟ එක්ව ඔවුන්ට ශක්තියක් වූයේය.

    දින 10න් ඇඳන් 10,000ක් සැකසෙන්නේ දැනට පවතින තත්ත්වයට මුහුණදෙමින් ආසාධිත ජනතාව වෙනුවෙන් සහනයක්වීමට බව කියා සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, මෙම කාර්යයට වඩා රජය මේ වනවිට ප්‍රමුඛත්වය දී කටයුතු කරනුයේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය ජනතාව එන්නත් කිරීමේ කාර්යයට බව පෙන්වා දුන්නේය.

    කොළඹ දිස්ත්‍රික්කයේ කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය - (IETI) සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ඉංජිනේරු තාක්ෂණික ආයතනයට ගිය අමාත්‍යවරයා, අවශ්‍ය මොහොතේ රට වෙනුවෙන් පෙරට පැමිණි ඔබ සියලු දෙනා ඇතුළු පිරිසට සිය හෘදයාංගම ආචාරය පුද දෙන බව කියා සිටියේය. මෙම නිරීක්ෂණ අවස්ථාවන්ට ජනතා නියෝජිතයන් එක්වූහ.

    Latest News