“චීනයේ සමෘද්ධියෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක්”; ආචාර්ය පාලිත කොහොන

මැයි 13, 2021

    චීනයේ සමෘද්ධිය තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ලැබිය හැකි බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.

    ෂියාන් නගරයේ ඊයේ (12) පැවති “2021 සේද මාවත චැන්ආන් ආර්ථික වෙළඳ හා සංස්කෘතික ප්‍රවර්ධන සමුළුව” අමතමින් තානාපතිවරයා මේ බව සඳහන් කළේය. “සේද මාවතේ ආරම්භක ස්ථානය ලොවට ගෙන යාම” යන තේමාව යටතේ සමුළුව වයඹ දිග චීනයේ ෂැන්සි පළාතේ ෂියාන් නගරයේ දී පැවැත්විණ.

    ඉපැරණි සේද මාවතේ ආරම්භක ස්ථානය වූ ෂියාන් නගරයේ ඓතිහාසික වැදගත්කම සැලකිල්ලට ගනිමින් සමුළුව සඳහා එම නගරය තෝරා ගෙන තිබේ. රටවල් 51ක් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික කයෝ ඊට සහභාගි වූහ.

    “එක් තීරයක් එක් මාවතක්” වැඩසටහන යටතේ ආර්ථික වෙළඳ හා සංස්කෘතික යන ක්ෂේත්‍රවල අන්තර්ජාතික සහයෝගිතාව පුළුල් කිරීම එහි අරමුණයි. ෂැන්සි පළාත් රජය, ෂැන්සි පළාත් විදෙස් මිත්‍රත්ව සංගමය ඇතුළු ආයතන ගණනාවක් ඒකාබද්ධව එය සංවිධාන කළේය.

    China px 900 13 05 21

    චීන මහ ගොඩබිම මධ්‍යයේ පිහිටා ඇති ෂියාන් නගරය චීනයේ ඓතිහාසික නගරයක් මෙන්ම වැදගත් ප්‍රවාහන මධ්‍යස්ථානයකි. වසර 1100කට වැඩි ඉතිහාසයක් සහිත ෂියාන් නගරය කලින් හැඳින්වූයේ “චන්ආන්” නමිනි. එය චීනයේ රජ පෙළපත් 13ක අගනුවර බවට පත්වී තිබිණ. මෙම ඓතිහාසික වටිනාකම් මත පදනම්ව, ෂියාන් නගරය කේන්ද්‍ර කර ගනිමින් සහයෝගිතා වර්ධනය කර ගැනීමට කැමති බව සමුළුව අමතමින් රාජ්‍ය තාන්ත්‍රිකයෝ කියා සිටියහ.

    ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා කියා සිටියේ, ජනාධිපති සී ජින්පිං මහතාගේ “පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම” සංකල්පය හරහා ශ්‍රී ලංකාවට දැනටමත් ප්‍රතිලාභ රැසක් අත්වී ඇති බවයි.

    දිළිඳුකම පිටුදැකීම ඇතුළු වැඩසටහන් මගින් ලබා ගත හැකි පාඩම් බොහෝය. තවත් වසර නවයක් හෝ දහයක් තුළ චීනය ලොව විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි ආචාර්ය පාලිත කොහොන මහතා කියා සිටී. එම සමෘද්ධියෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් ලබා ගත හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

     

    මෝතිලාල් හිස්සැල්ල - (රූපවාහිනි වාර්තාකරු - චීනයේ බෙයිජිං නුවර සිට)

    Latest News