රිෂාඩ්ගේ පෙත්සම සලකා බලන තවත් විනිසුරුවරයෙක් ඉවතට

ජූනි 04, 2021

    තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙකු අද ඉවත් විය.

    මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විවෘත අධිකරණය සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත මෙම පෙත්සම සලකා බැලීමේ කටයුත්තෙන් තමන් ඉවත් වන බවයි.
    ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම මේ මස 11 වනදා දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ.

    මෙම පෙත්සම් ඉකුත් දා සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සාමාජික විනිසුරුවරයෙකුව සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ද පෞද්ගලික හේතුවක් මත පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වී තිබිණ.

    කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් ඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී බවට තීන්දු කොට තමන්ව මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ රැඳවුම් නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

    Latest News