අමල් සහ රයන්ගේ සොහොයුරන් අත්අඩංගුවට

පෙබ 07, 2019

    මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වෑන් යන අයගේ ශ්‍රී ලංකාවේ සිටින සොහොයුරන් දෙදෙනා අද සවස අත් අඩංගුවට ගනු ලැබීය.

    ඒ පොලිස් විශේෂකාර්ය බලකාය ඔවුන්ගේ නිවාස සෝදිසියට ලක්කළ අවස්ථාවේදී. අමල් පෙරේරා මහතාගේ මහරගම පිහිටි නිවස සෝදිසි කළ පොලිස් විශේෂ කාර්ය බලකාය එහි තිබී හිස් කොකේන් කොපු දෙකක් සොයා ගෙන තිබේ.

    ඒ අනුව ප්‍රශ්න කිරීම සඳහා සැකපිට අමල් පෙරේරා මහතාගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා ප්‍රකාශ කළේය.

    අනතුරුව රංගන ශිල්පී රයන් වෑන් මහතාගේ දෙහිවල පිහිටි නිවස පරීක්‍ෂා කෙරුණු අතර, එහි තිබී කුඩා ඩිජිටල් තරාදියක් සහ කලු බෑගයක් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ. එවැනි තරාදි සහ ගමන් මලු මත්ද්‍රව්‍ය කිරා මැන බැලීමට හා ප්‍රවාහනයට යොදා ගැනෙන බවට ඇති වූ සැකය මත ඒවා අත්අඩංගුවට ගත් බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටී.

    ඒ අනුව රයන් වෑන් මහතාගේ සොහොයුරාද අත්අඩංගුවට ගත් බව එම්.ආර්.ලතීෆ් මහතා ප්‍රකාශ කළේය. ඩුබායි හි අත් අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස එරට අල්රෆා පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තාවේ.

    ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර සිටියේ දැයි තහවුරු කරගැනීම සඳහා රුධිර සාම්පල ලබාගෙන ඇතත් ඒවායෙහි ප්‍රතිඵල ලැබී ඇද්ද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

    Latest News