කෝච්චියෙන් අලි බේරන වාර්තාව ඇමතිට

ඔක් 25, 2018

    වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා පත් කළ කමිටු වාර්තාව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත අද බාර දුන්නේය.

    දුම්රිය මාර්ගවල වන අලි ගැවසෙන ස්ථාන නිරීක්‍ෂණය කොට වාර්තාවක් ලබාදීම සඳහා 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා අමාත්‍යවරයා විසින් පත්කරන ලදි.

    දුම්රිය මාර්ගයේ වන අලි ගැවසෙන ස්ථාන හඳුනාගැනීම හා එම දත්ත විශ්ලේෂණය මගින් අවදානමක් සහිත කලාප කමිටුව මගින් හඳුනාගෙන තිබේ. මහව සිට ඉදිරියට ඇති කලාපයේ දුම්රිය මාර්ගය කිලෝ මීටර 660 කින් සමත්විතයි.

    වන අලි ගැවසෙන අධි, සාමන්‍ය හා අවම අවදානමක් ඇති කලාප ලෙස සැලකෙන්නේ, කිලෝ මීර 368ක දුරකි. දුම්රියේ වන අලි ගැටීමට හේතු හඳුනාගැනීම හා අනතුරුවලට බලපාන හේතු යනාදිය සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමු විය.

    ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගෙන ඇත්තේ, වංගුවලදී දුම්රිය මාර්ගයේ සිටින වන අලියා දර්ශනය නොවීම සැලකිය හැකියි. ඇතැම් අවස්ථාවලදී දර්ශනය වුවද දුම්රියේ බර අනුව තිරිංග යෙදීමේදී දුම්රිය නතර කිරීමට ගතවන දුර වැඩිවේ.

    දුම්රියේ ඉදිරිපස ලාම්පු ආලෝකය වනගත කලාප සඳහා ප්‍රමාණවත් නොවීම ද තවත් ගැටලුවකි. අදාළ ප්‍රදේශවල විවිධ සංවර්ධන කටයුතු සඳහා අවිධිමත් ලෙස විදුලි වැට භාවිත කරමින් වන අලින්ගේ ස්වභාවික සංචරන මාර්ග අවහිර කිරීම ඇතුළු ගැටලු 21ක් කමිටුව විසින් හඳුනාගෙන තිබේ.

    ඒ අනුව, කමිටුව කෙටි, මධ්‍ය හා දීර්ඝකාලීන විසඳුම් 13ක් නිර්දේශ කෙරිණ. බාධක වැටි යෙදීම, මාර්ගයට සතෙක් ඇතුලු වුවහොත් ස්වයංක්‍රීය සන්වේදක මගින් හඳුනාගෙන දුම්රිය රියදුරු වෙත පූර්ව දැනුම්දීම සිදුකිරීම හා කැමරා සවිකිරීම ඇතුළු යෝජනා කිහිපයක් ද කමිටු වාර්තාවට ඇතුළත්වේ.

    Latest News