දියුණු කළ යුතු නුවරඑළියේ මල් කර්මාන්තය (වීඩියෝ)

පෙබ 09, 2019

    මල් අපනයනය කරන රටවල් අතුරින් වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 9 වැනි ස්ථානයයි.

    2015-2016 වසර වනවිට එම ස්ථානය 60 දක්වා පහත වැටුණි. මල් වගාකරුවන් හා මල් කර්මාන්තය දිරිමත් කිරීමට අපට යළිත් අපනයන අංශයෙන් පෙර පැවති තත්වයට ළඟාවිය හැක. මේ ශ්‍රී ලංකාවේ පුංචි එංගලන්තයේ මල් කර්මාන්තකරුවන් මුහුණ දී ඇති තත්වය ගැනයි.

    2016 වසරේ දී මල් අපනයයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 13.6ක් උපයා තිබේ. 2015 වසරේ දී එම අගය අමෙරිකානු ඩොලර් මිලියන 13.9ක්. ඒ අනුව, පසුගිය කාලය තුල මල් අපනයනයෙන් රටට ලැබෙන ආදායම ක්‍රම ක්‍රමයෙන් අඩුවී ඇත. ඕකිඩ්, ඇන්තූරියම්, රෝස, කානේෂන්, ලිලී, ගාඩ්නියා වැනි මල්වර්ගවලට විදේශීය රටවලින් වැඩි ඉල්ලුමක් පවතී. වැඩිපුරම මල් මිලදී ගන්නේ නෙදර්ලන්තයයි.

    ජපානය හා මැද පෙරදිග රටවල් සඳහා ද මල් අපනයනය කෙරේ. මසකදී රෝසමල් ලක්‍ෂ 5ක් පමණ මෙරට නිෂ්පාදනය කෙරේ. මෙරට මල් වගාවේ නිරතව සිටින සංඛ්‍යාව දස දහසකට අධිකවේ. නුවරඑළියේ මේ වනවිට පවුල් දෙදහසක් මල් කර්මාන්තයේ යෙදී සිටී. එහෙත්, ඔවුන් චෝදනා කරන්නේ, තමන්ට කිසිදු අනුග්‍රහයක් නොලැබෙන නිසා ලාභ අපේක්‍ෂාව සාර්ථකව ඉටු කරගත නොහැකි බවයි. බොහෝ දෙනෙකුට වගාව සඳහා ඉඩම් නොමැති බව ඔවුන් පවසයි. බොහොමයක් ව්‍යාපාරිකයන් තම පෞද්ගලික ඉඩම් ඊට යොදා ගෙන තිබේ.

    මෙරට පවතින කාලගුණික සහ දේශගුණික තත්වයන් මෙන්ම වෙනත් සාධක හේතුවෙන් දේශීය වෙළෙඳ පොළේ මල් සහ විසිතුරු පැල සඳහා පවතින්නේ තරඟකාරී ඉල්ලුමක්. එහෙත්, ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකිවීම කර්මාන්තයේ පවතින අසාර්ථක බව පෙන්නුම් කෙරේ. තමන්ට බොහෝ ගැටලු පවතින බව වගාකරුවන් පවසයි.

    ප්ලාස්ටික් මල් ආනයනය, මල් කර්මාන්තය දියුණුවට පවතින විශාල බාධාවක් බව මොවුන් පෙන්වා දෙයි. මල් වගාව දියුණු කිරීමට වගාකරුවන් හඳුනාගෙන අපනයනය තුළින් ආදායමක් ලබාගැනීමට රජයේ අවධානය යොමුවිය යුතු බව කර්මාන්තකරුවන් පවසයි.

     

    Last modified on සෙනසුරාදා, 09 පෙබරවාරි 2019 20:38

    Latest News