LTTEය කටුනායක ගුවන් තොටුපලට ප්‍රහාරයක් එල්ල කර අදට වසර 20යි

ජූලි 24, 2021

    එල්ටීටීඊ සංවිධානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ප්‍රහාරයක් එල්ල කොට අදට වසර 20ක් සපිරේ.

    එසේම දෙහිවල දුම්රිය ස්ථානයේ දී දුම්රියක් තුළ සිදු වූ දැවැන්ත බෝම්බ පිපිරීමට ද අදට 25 වසරක් සපිරේ. කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල හානියක් කරමින්, ජනසංහාර සිදුකිරීමේ ලේ වැකි ඉතිහාසයට එක් වූ තවත් ප්‍රබලතම හා මිලේච්ජතම ප්‍රහාර දෙකක් ලෙස, කටුනායක හා දෙහිවල ප්‍රහාර සැලකේ.

    "කළු ජූලිය" ලෙස හඳුන්වා ගනිමින් 2008 වසර දක්වාම වසර 25ක පමණ කාලයක් කොටි සංවිධානය ජුලි 23 වැනිදා ආශ්‍රිත දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රහාර සිදු කළේය. එකල, ජුලි මාසය එළඹෙත්ම සමස්ත ශ්‍රී ලංකාවාසීන්ම බියෙන් තැතිගැනීම, සාමාන්‍ය තත්වයක්.

    1996 ජුලි 24 වැනිදා දෙහිවල දුම්රිය ස්ථානයේ දී දුම්රියක් තුළ සිදු වූයේද එවැනිම කළු ජුලිය ඉලක්ක කර සිදු කළ පිපිරීමක්. කොළඹ කොටුව සිට පානදුර දෙසට ධාවනය වූ බ‍ලවේග දුම්රියේ මැදිරියක් තුළ තිබූ බෝම්බය පුපුරා යාමෙන් 70කට වැඩි පිරිසකගේ දිවි අහිමි වූ අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 400 ඉක්මවයි. ඉලක්කය වූයේ රාජකාරි නිමා කොට නිවෙස් බලා යන සාමාන්‍ය ජනතාවයි.

    Latest News