ගංවතුර-නියඟයෙන් හානිවූ ගොවිබිම් සඳහා වන්දි

පෙබ 12, 2019

    උතුරු-නැගෙනහිර සිදුවූ ගංවතුර හා නියඟයෙන් හානියට පත් ගොවිබිම් සඳහා වන්දි ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ, අමාත්‍ය පී.හැරිසන් මහතා කෘෂිරක්‍ෂණ මණ්ඩලයට ලබාදුන් උපදෙස් අනුවයි. වන්දි ලබාදීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කෙරිණ. වන්දි ලබාදීම මේ සතියේ සිට ඇරඹෙන බව, කෘෂිරක්‍ෂණ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසයි. ගොවිබිම් සමීක්‍ෂණය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා කෘෂි රක්‍ෂණ මණ්ඩලයේ නිලධාරීන් 400ක් පමණ යොදවා තිබේ.

    ගංවතුරෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 8,950ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 2,100ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 1,530ක් හා වවුනියාව දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 8,750ක් හානියට පත්විය.

    යාපනයේ පැවති නියඟය හේතුවෙන් කුඹුරු අක්කර 1,200ක් හානි වූ බව, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය. වන්දි ලබාදීමේදී පැනනඟින ගැටලු වෙනුවෙන් අභියාචනා මගින් යළි සමීක්‍ෂණ සිදු කෙරේ. නියඟයෙන් හා ගංවතුරෙන් සිදුවූ පූර්ණ හානි වෙනුවෙන් අක්කරයක් සඳහා රුපියල් 40,000ක මුදලක් කෘෂි රක්‍ෂණ මණ්ඩලය විසින් ගොවීන්ට ලබාදීමට නියමිතව තිබේ. මේ අනුව, ගංවතුරෙන් සහ නියඟයෙන් හානියට පත් අක්කර 22,530ක් සඳහා වන්දි ඇරඹෙනු ඇත.

    Last modified on බදාදා, 13 පෙබරවාරි 2019 08:19

    Latest News