“අර්ත් වොච්මන්“ බම්බලපිටිය හින්දු විද්‍යාලයට

පෙබ 12, 2019

    ජාතික රූපවාහිනිය ක්‍රියාත්මක කරන “අර්ත් වොච්මන්“ රුක් රෝපණ ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් බම්බලපිටිය හින්දු විද්‍යාලයේදී අද පැවැත්විණ.

    දිවයින පුරා පැළ මිලියන 2ක් සිටුවීම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම හමුවේ ලොව පුරා රුක් රෝපණ ව්‍යාපෘති ආරම්භ කළ යුතුය යන්න, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පෙන්වා දී ඇත.

    ඊට පිළියමක් ලෙස ජාතික රූපවාහිනිය ක්‍රිකට් ක්‍රීඩාව හරහා පැළ සිටුවීමේ ව්‍යාපෘතිය ජනගත කිරීමට අපේක්‍ෂා කරයි. හින්දු විද්‍යාලයේ 68 වන ආදි කර්තෘ දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහන විද්‍යාල භූමියේ දී අද සිදු කෙරුණේ, ජාතික රූපවාහිනියේ ඉල්ලීමකට අනුවයි.

    විද්‍යාලයේ 68 වන ආදි කර්තෘ දිනය නිමිත්තෙන්, ආගමික වතාවත් සිදු කෙරිණ. විද්‍යාලයේ ආදි කර්තෘ ස්මාරකයට මල්මාලා පළඳවනු ලැබීය. ආරාධිත අමුත්තන් අතින් විද්‍යාලයේ විවිධ දක්‍ෂතා දැක්වූ සිසු දරුවන් ඇගයීමට ලක් කෙරුණු අතර, නිල ලාංඡන පැළඳවීම ද සිදුවිය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජයරත්න මහතා මේ අවස්ථාවට එක්විය.

    ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු හා නැවත පදිංචි කිරීම් අමාත්‍යාංශයේ ලේකම් වී.ශිවඥානශෝති, විද්‍යාලයීය විදුහල්පති පලනිවේල් පරමේශ්වරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද වැඩසටහනට එක්වූහ.

    Last modified on අඟහරුවාදා, 12 පෙබරවාරි 2019 20:05

    Latest News