කැබිනට් එකට උපදෙස් ගන්න දේශපාලන මණ්ඩලයක්

ඔක් 26, 2018
    අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළපුරුදු දේශපාලනඥයින්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලයක් යෝජනාවි තිබේ.
    වත්මන් රජය ජනතාව වෙනුවෙන් කළ මානුෂීය සේවාවන් ජනතාව අතරට ගෙනයෑම මෙහි අරමුණයි. ප්‍රධාන පක්ෂ දෙක අතර පවතින අසමානකම් දුරු කිරීමටත් මෙය අවශ්‍ය බවයි ඇමති රාජිත පවසන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘතහස්ත දේශපාලනඥයින්ගෙන් මෙම උපදේශක මණ්ඩලය නිර්මාණය කළ යුතු බවට ඔහු යෝජනා කරයි.
    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ජා-ඇල අලෙවි ශාඛාව කපුවත්ත ප්‍රදේශයේ දී විවෘත කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ උපාධිධාරීන් සදහා ණය ලබාදෙනවා. එම ණය මුදලින් 75% ක් ගෙවනු ලබන්නේ රජය විසින්. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන සදහා රුපියල් බිලියන 50 ක මුදලක් වෙන්කර තිබෙනවා. ඉදිරියේ දී තවත් මුදල් වෙන් කරනවා. පෞද්ගලික බැංකු මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිම සදහා ගමට ගියත්, රාජ්‍ය බැංකු දෙක මන්දගාමී ස්වරූපයක් ගෙන තිබෙනවා.
     
    රාජ්‍ය බැංකු දෙක නිර්මාණය කළේ ධනපතීන්ට ණය ලබාදෙන්නට නොවෙයි. දුප්පත් ජනතාවට ණය ලබාදීමටයි. ලංකා බැංකුවේ 2017 වසරේ ලාභය රුපියල් බිලියන 25 ක්. ජනාධිපතිතුමා මා සමග ප්‍රකාශ කළා එම ලාභයෙන් දුප්පත් ජනතාවට ණය ලබාදිය යුතු බව. වත්මන් රජය මානුෂීය සේවා රැසක් සිදු කළත් එය ජනතාවට කියා ගන්න බැරි වී තිබෙනවා.
     
    එක පක්ෂයක අය අනෙක් පක්ෂයේ අයට බනිනවා. එම පක්ෂයේ අය අනෙක් අයට බනිනවා. ඉටු කළ ජනතා සේවාවන් ඉදිරිපත් නොකොට වාද විවාද කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් කෘතහස්ත දේශපාලනඥයින් රැසක්  දැන් පැත්තකට දාලා ඉන්නවා. ඔවුන් එකතු කරලා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදීම සදහා උපදේශක මණ්ඩලයක් නිර්මාණය කළ යුතුයි. දේශපාලන දැනුම, පළපුරුද්ද හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධියටත් වඩා වැදගත් යැයි ද ඔහු කියා සිටියේය.
    Last modified on සිකුරාදා, 26 ඔක්තෝබර් 2018 14:53

    Latest News