අලි රොෂාන් ඇතුළු හතකට ඇප

ඔක් 26, 2018

    බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සුප්‍රකට අලි ජාවාරම්කරුවෙකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් (අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකු දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

    මෙම නඩුව අද (26) සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජයරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධි චෝදනා පත්‍ර භාරදීම සිදු කරනු ලැබීය.

    එම සැකකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ නොවන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සුවිශේෂී කරුණු තිබේ නම් ඔවුන් ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියම කළේය.

    විත්තිකරුවන් නිසි අවසරයකින් තොරව විදේශ ගතවීමට උත්සාහ කරන්නේ නම් ඒ පිළිබඳව රහස් පොලිසිය වෙත දැනුම් දෙන ලෙස අධිකරණය ආගමන හා විගමන පාලකවරයාට නියම කළේය.

    එමෙන්ම සෑම මසකම අවසන් ඉරුදින විත්තිකරුවන් විසින් රහස් පොලිසිය වෙත වාර්තා කළ යුතු බවද අධිකරණය නියෝගය කර තිබේ.

    අනතුරුව නඩුවට අදාළ ලේඛන විත්තිය වෙත නිසි පරිදි ලැබී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා නඩුව නැවත නොවැම්බර් මස 8 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළේය.

    එසේ ඇප මත මුදාහැර සිටින සෙසු සිටින සෙසු විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙක් වන උපාලි පද්මසිරි අලි ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව සිටි ලිපිකාරිණියක වන ප්‍රියංගිකා සංජීවනී ද ඇතුළත්ය.

    බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා විසින් චෝදනා විසි හතරක් යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.

    Latest News