ධීවර ගම්මානවල වෙසෙන ජනතාවට සහන සලසන්න අගමැතිතුමාගෙන් උපදෙස්

අගෝ 16, 2021

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ, එතුමාගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ “ධීවර ගම්මාන” වැඩිදියුණු කිරීම සඳහා අගමැතිතුමා විසින් අද (16) රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට උපදෙස් ලබා දී තිබේ.

    ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය, කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සමඟ අද පැවති සාකච්ඡාවකදී අගමැතිතුමා මෙම උපදෙස් ලබා දී ඇත. අගමැතිතුමා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ දිවයින පුරා ඇති මුහුදුබඩ ප්‍රදේශ හා වැව් ආශ්‍රිත ධීවර ගම්මාන 60 කට වැඩි ප්‍රමාණයක් ඉදි කර තිබේ.

    මෙහිදී අගමැතිතුමා ප්‍රකාශ කර ඇත්තේ මෙම ධීවර ගම්මාන වැඩිදියුණු කිරීම, සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම හා එම ගම්මානවල ජීවත්වන ජනතාවට සහන සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවයි.

    එම ජනතාවට සහන සැලසීම සඳහා 2022 අයවැය සඳහා ඉදිරිපත් කිරීමට යෝජනාවලියක් සකස් කරන ලෙස අගමැතිතුමා උපදෙස් ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයට කියා සිටියේය.

    එමෙන්ම එම ධීවර ගම්මාන ආශ්‍රීතව නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙස ද අගමැතිතුමා රාජ්‍ය අමාත්‍යවරයාට මෙහිදී උපදෙස් ලබා දී ඇත.

    Latest News