පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවේ වැඩ තාවකාලිකව අත්හිටුවයි

අගෝ 28, 2021

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදි කිරීමට සැලසුම් කර තිබූ ඇවිදින මංතීරුවේ වැඩ තාවකාලිකව අත්හිටුවා තිබේ.

    ඒ, ප්‍රදේශවාසීන්ගේ සහ මහා සංඝරත්නයේ විරෝධතාවක් හේතුවෙන්. එම ඇවිදන මංතීරුවෙන් වැවේ රළපනාවට සහ බැව් බැම්මට හානි සිදුවන බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල විය.

    මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද උදේ එම ස්ථානයට පැමිණ විරෝධතාවේ නිරත වූහ. එහි පැමිණි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්. ඒ. ධර්මසිරි මහතා ඇතුළු නිලධාරීන් එම පිරිසට තත්වය පහදා දුන්නේය.

    අනතුරුව ඒ පිළිබඳව දැනුවත් කිරීමේ හමුවක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ඒ, පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ සාකච්ජාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 28 අගෝස්තු 2021 11:02

    Latest News