රෝහ් තේ-වූ මහතාට අගමැති අවසන් ගෞරව දක්වයි

ඔක් 30, 2021

    කොළඹ පිහිටි කොරියානු තානාපති කාර්යාලයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත දකුණු කොරියානු හිටපු ජනාධිපති රෝහ් තේ-වූ (Roh Tae-woo) මහතාට ඊයේ (29) දින පස්වරුවේ අවසන් ගෞරව දැක්වූයේය.

    ජනපති රෝහ් තේ-වූ මහතාගේ වියෝව සම්බන්ධයෙන් එතුමාගේ පවුලේ සාමාජිකයන්ටත් දකුණු කොරියානු ජනතාව සහ රජයටත් ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් සිය සාතිශය සංවේගය පළ කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී ශෝක සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

    කොළඹ කොරියානු තානාපති කාර්යාලයට පැමිණි අග්‍රාමාත්‍යවරයා, මෙරට කොරියානු තානාපති වූ-ජින් ජොන්ග් (Woo-jinJeong) මහතා විසින් පිළිගත් අතර ශෝක සටහන් පොතෙහි සටහන් තැබූ අග්‍රාමාත්‍යවරයා අනතුරුව අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති රෝහ් තේ-වූ (Roh Tae-woo) මහතාගේ ඡායාරූපයකට පුෂ්පෝපහාර දැක්වුයේය.

    දකුණු කොරියානු ජනරජයේ සමෘද්ධිය උදෙසා අභාවප්‍රාප්ත ජනාධිපති රෝහ් තේ වූ ඉටු කළ දැවැන්ත සේවාව කොරියානු ජනතාව සැමවිටම සිහිපත් කරනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී පැවසීය.

    රෝගාතුරවී සෝල් අගනුවර පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝහ් තේ වූ මහතා මියයන විට 88 වැනි වියේ පසුවිය.

    Last modified on සෙනසුරාදා, 30 ඔක්තෝබර් 2021 12:16

    Latest News