චීන පොර සමාගමට එරෙහි වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ වෙයි

නොවැ 09, 2021

    බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 19 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කර තිබේ.

    කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

    මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර චීන පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිත්‍යානුකූල ප්‍රමිති වාර්තා ඉදිරිපත් කර තමන් විසින් මහජන බැංකුවේ ණයවර ලිපි විවෘත කළ බව සඳහන් කළේය.

    එසේ තිබියදී ඊට මුදල් ගෙවීම අත්හිටුවීම නීතියට පටහැනි ක්‍රියාවක් යැයි පෙන්වා දුන් එම නීතිඥවරු නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන්නැයි, ඉල්ලා සිටියේය.

    ඒ අනූව, නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා ඉදිරි දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද වගඋත්තරකාර පාර්ශවයෙන් නීතිඥවරුන්ට අධිකරණයේ නියම කළේය.

    පෙත්සම්කාර පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබා ගත් වගඋත්තරකාර කුවින්ඩාඔ සිවින් බයොටෙක් ගාප්‍ කොම්පනි නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරමින් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බව දැනුම් දී තිබිණ.

    ඒ අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර මෙරටට නැව්ගත කිරීමට අවශ්‍යව තිබූණ ද එම කාබනික පොහොර වල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව් උපදෙස් පත්‍රිකාව මගින් පිළිගෙන ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ විය. 

    ජාතික ශාක නිරෝධායන සේවය වෙත වගඋත්තරකාර චීන සමාගම විසින් යවා ඇති පොහොර නියදිය පරීක්ෂා කිරීමේදී එහි ඇතැම් පොහොර කොටස් වල හානිකර බැක්ටීරියා ඇතුළු ජීවින් සිටින බව තහවුරු වී ඇතැයි ද සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ තත්ත්වය මත වගඋත්තරකාර චීන සමාගම ටෙන්ඩරයේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණ කොට නැතැයි චෝදනා කළේය. 

    ඒ අනුව අදාළ චීන සමාගම වෙනුවෙන් නිකුත් කොට ඇති ණයවර ලිපියට අනුව කිසිදු මුදලක් එම සමාගමට, එහි දේශීය නියෝජිත ආයතනය වෙත හෝ මහජන බැංකුව වෙත ගෙවීම් හෝ ලබා ගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි අතිරේක සොලිස්ටර් ජනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා තිබිණ. 

    Latest News