මාරවිල මුහුදු ඛාදනයෙන් ජනතාව දැඩි පීඩාවට (වීඩියෝ)

පෙබ 23, 2019

    පුත්තලම මාරවිල වෙරළ ඛාදනයට ස්ථිර විසඳුමක් ලබාදීමේ පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.

    ඒ, විදේශීය සමුද්‍රීය ඉංජිනේරු විශේෂඥයන්ගේ සහය ඇතිව වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින්. ඉහළ පෝෂක ප්‍රදේශවල ගංගා සහ ඇළ දොළවල අසීමිතව වැලි ගොඩ දැමීමෙන් මුහුදට ගලායන වැලි ප්‍රමාණය විශාල ලෙස අවමවීම වෙරළ ඛාදනයට ප්‍රමුඛ හේතුව බව අනාවරණය වී තිබේ.

    බටහිර වෙරළ තීරය නිර්මාණය වී ඇත්තේ මුහුදේ පවතින වැලිවලින් නොව දැදුරු ඔය, මාඔය, කැලණි යන ගංගාවලින් මුහුදට ගලා එන වැලිවලින් බවයි පර්යේෂකයින් පවසන්නේ. පසුගිය වසර 3 තුළ මීගමුව සිට මාරවිල මුහුදු තීරය උග්‍ර ලෙස ඛාදනය වීමෙන් ජනතාව දැඩි පීඩාවට ලක්වූහ. වෙරළ තීරය සංරක්‍ෂණය සඳහා වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා වැය කර ඇති මුදල රුපියල් මිලියන 4,000 ඉක්මවයි.

    වෙරළ තීරයේ වාර්ෂිකව සිදුවන උග්‍ර මුහුදු ඛාදනයට විද්‍යාත්මක විසඳුමක් ලබාදීමේ වැඩසටහනට එක්ව සිටින්නේ, ජපානයේ ටෝකියෝ සහ නැගෙනහිර ලන්ඩන් විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් හා එම විශ්වවිද්‍යාලවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්. අධි තාක්‍ෂණික විද්‍යුත් උපකරණ භාවිත කරමින් වෙරළ ආශ්‍රිත මුහුදු පතුල නිරීක්‍ෂණය කොට එහි සටහන් සහ දත්ත එක්රැස් කිරීම මුලිකව සිදු කෙරේ.

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 19:58

    Latest News