හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නිදොස්කොට නිදහස්

දෙසැ 16, 2021

    බලපත්‍ර නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණය නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් තීන්දුව ලබා දුන්නේය.

    තීරණය දෙමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකාර තිලින ගමගේ මහතාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.
    ඒ අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බව ද අධිකරණය නියම කළේය.

    කෙසේ වෙතත් මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙකු වන උපාලි පත්මසිරි, එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී සහ අදාළ අලි පැටවාගේ මුල් අයිතිකරු බව කියන චන්ද්‍රරත්න යටවර යන අය නිදහස් නොකිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ට විත්තිවාචකය ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

    ඒ අනූව එම විත්තිකරුවන් තිදෙනාගේ විත්ති වාචික ඉදිරිපත් කිරීම සඳහා නඩුව නැවත ජනවාරි මස 21 වැනිදා කැඳවීමට අධිකරණය නියම කළේය.

    බලපත්‍ර නොමැතිව "සකුරා" නමැති අලි පැටවකු සන්තකයේ තබා ගැනීම තුළින් පොදු දේපල පනත හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලනය රජය සමයේ වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණ.

    Latest News