සරුංගලයත් එක්ක ගුවන්ගත වූ තරුණයා දිවිබේරා ගනී....(වීඩියෝ)

දෙසැ 21, 2021
  • සරුංගල් යවන අත්දැකීම අපි කවුරුත් වගේ අත්දැකල තියෙනවා.

    ඒත්, සරුංගලයකින් ගුවන් ගතවුණු සිදුවීමකට නම්, කවුරුත්ම මුහුණ දීල නැතුව ඇති. ඒ ගැන අපේ අත්දැකීම කොහොම වුණත්, සරුංගලයක් යවන්න ගිය, යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ තරුණයෙකුට නම්, අද එවැනි ගුවන් ගතවීමකට මුහුණ දීමට සිදුවුණා.

    මේ පුවත වාර්තා වන්නේ, යාපනය පේදුරුතුඩුව පුලෝලි ප්‍රදේශයෙන්. තරුණයින් පිරිසක් සරුංගලයක් නිර්මාණය කර සියලු දෙනා එක්ව එය ශක්තිමත් කඹයක ආධාරයෙන් ගුවන් ගත කිරීමට දායක වූයේ මෙලෙසින්. කඹය තදින් අල්ලාගෙන සරුංගලයේ සමබරතාව ආරක්‍ෂා කර ගනිමින් ඔවුන් එය ගුවන්ගත කිරීමට සමත්වුණා. එහෙත්, මේ අතර සිටි එක් තරුණයෙක්, සරුංගලය ගුවනේ සැලකිය යුතු දුරකට ගමන් කරන තෙක් කඹය අතනෑර සිටි අතර, පසුව සරුංගලය සමඟ ඔහුට ද ගුවන් ගතවීමට සිදුවුණා.

    අප වාර්තාකරු පවසන්නේ, සරුංගලයේ කඹේ එල්ලී සිටි මෙම තරුණයාට, අඩි 40ක් පමණ ඉහළට ගමන් කිරීමට සිදුවූ බවයි. අනතුරක් සිදු වෙතැයි බියෙන් කඹය අතහරින ලෙස මිතුරන් කෑ ගැසුවත්, ඔහු එවැන්නක් සිදු කළේ නැහැ. පසුව සරුංගලය තරමක් පහළට පැමිණි පසු පොළොවේ සිට අඩි 20ක් පමණ ඉහළ දී ඔහු කඹය අතහැර තිබෙනවා.

    මෙම අනපේක්‍ෂිත සිදුවීමෙන් ගුවන් ගතවූ තරුණයා නිරුපද්‍රිතව දිවිබේරා ගනු ලැබුවද, මිතුරන් එක්ව ඔහු පේදුරුතුඩුව මුලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා.

    Latest News