ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය ජනපති ප්‍රධානත්වයෙන් සැමරේ

දෙසැ 23, 2021

    ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77වන සැමරුම අද (23) පෙරවරුවේ කටුනායක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධාන්තවයෙන් සැමරිණ.


    දෙවන ලෝක යුද සමයෙන් පසු 1944 වසරේ දී එනම් මීට වසර 77කට පෙර රටවල් 26ක එකතුවෙන් ගුවන් ගමන් නියාමනය සහ සම්බන්ධීකරණය සඳහා චිකාගෝ සම්මුතිය අත්සන් තැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) ආරම්භ කෙරිණ. 1948 ජුනි මස 01 වන දින ශ්‍රී ලංකාවට එම සංවිධානයේ සාමාජිකත්වය හිමි වූ අතර මේ වන විට එහි සාමාජික රටවල් සංඛ්‍යාව 193කි.

    1912 වසරේ දෙසැම්බර් 07 වන දින ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසයට නව සනිටුහනක් එක් කරමින් දේශීය ප්‍රථම ගුවන් ගමන කොළඹ තුරඟ තරග පිටියේ දී සිදු විය. මෙම සිදුවීම් සිහිපත් කරමින් සෑම වසරකම දෙසැම්බර් මස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය සැමරේ.

    උත්සවය භූමියට පැමිණි ජනාධිපතිතුමා ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සමග සුහද කතාබහක නිරත වීමෙන් අනතුරුව සිවිල් ගුවන් සේවා කටයුතු ආශ්‍රිතව නව නිර්මාණකරුවන් ඉදිරිපත් කළ ප්‍රදර්ශනය නැරඹීය. චිත්‍ර ශිල්පී රවීන්ද්‍ර දිසානායක මහතා කළ නිර්මාණයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ.

    “ගුවන් සේවා ඉතිහාසය හා ගමන් මඟ”, “සිවිල් ගුවන් සේවා නියාමන කාර්යභාරය සහ කොවිඩ් - 19 හමුවේ සිවිල් ගුවන් සේවාව ඉටුකළ මෙහෙවර” සහ සිවිල් ගුවන් සේවා ප්‍රවර්ධනය අලළා කෙටි වීඩියෝ දර්ශන තුනක් සැමරුම වෙනුවෙන් නිර්මාණය කර තිබිණ.

    සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ උන්නතියට දැක්වූ දායකත්වය අගයමින් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් පස්දෙනෙකුට, කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා තිබූ කාලපරිච්ජේදය තුළ අන්තර්ජාලය ඔස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සංවිධානය කළ තරඟයකින් ජයග්‍රහණය කළ සිසුන් දහසක් සංකේතවත් කරමින් තිදෙනෙකුට සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ තවත් කිහිපදෙනෙකුට සම්මාන ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමිණ.

    avian1.jpg


    සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා විසින් ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් සමරු තිළිණයක් පිරිනැමිණ.

    රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම යන මහත්වරු උත්සව සභාව ඇමතූහ.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍යාංශ ලේකම්වරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, එස්. හෙට්ටිආරච්චි, රාජ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ගුවන් තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි, ශ්‍රීලන්කන් ගුවන් සේවා සමාගමේ සභාපති අගෝක් පතිරගේ යන මහත්වරුන් සහ අධිකාරියේ සේවක මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News