දෙනගම සිරිවිජයාරාම චෛත්‍යට කොත්වහන්සේ පූජා කිරීම අගමැතිතුමා අතින්

දෙසැ 29, 2021

    හක්මන දෙනගම සිරිවිජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යට චූඩාමාණික්‍ය සහිත කොත්වහන්සේ පූජා කිරීමේ මහෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    මියන්මාරයේ මින්ඩොන් රජ දවස ඉදි කළ පෞරාණික විහාරස්ථානයකින් තෙල්දෙනිය ශ්‍රී ශාලවන බෝධි මහා විහාරාධිපති යටිරාවන සීලානන්ද ස්වාමීන්වහන්සේට ප්‍රදානය කර තිබූ මෙම චූඩාමාණික්‍ය සහිත කොත්වහන්සේ පළමුව අග්‍රාමාත්‍යතුමා වෙත භාර කෙරිණි. අනතුරුව අග්‍රාමාත්‍යතුමා විසින් මෙම චූඩාමාණික්‍ය සහිත කොත්වහන්සේ දෙනගම සිරිවිජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යට පැළැන්ඳවීම සඳහා තිස්සමහාරාම රාජ මහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන ස්වාමීන්වහන්සේට පූජා කරන ලදි.

    මෙසේ පූජා කරන ලද චූඩාමාණික්‍ය සහිත කොත්වහන්සේ ලබන ජනවාරි 10 වැනිදා චෛත්‍යයේ තැන්පත් කොට නිරාවරණය කිරීමට නියමිතය. මෙම අවස්ථාවට වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරාධිපති කෑගල්ලේ රතනසාර නාහිමි ඇතුළු උත්තරීතර මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න,බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් ඒ.එම් රත්නායක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News