"බුදුපුත් මාපිය හරසර" අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්...

ජන 04, 2022

    “බුදුපුත් මාපිය හරසර” සහ “බුදුපුත් හරසර පූජා” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) දින බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.   

    බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හදරාගම මහත්වරු අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.  සම්බුදු සසුනට තම දරුවන් පූජා කරන අවුරුදු 25-59 අතර භික්ෂූණ් වහන්සේලාගේ හා සිල්මාතාවන්ගේ දෙමාපියන් වෙනුවෙන් ඔවුන්ගේ සැඳෑසමයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙම විශේෂිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ. 

    NewPM2 900px 22 02 04

    සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ප්‍රතිලාභ ගෙවන මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අනුව දායක පින්වතුන්ගේ හා විවිධ දානපතීන්ගේ අවශ්‍යතාව මත අවුරුදු 60 ඉක්මවූ පසු ලැබෙන පරිදි ඕනෑම ප්‍රමාණයක මාසික විශ්‍රාම වැටුපක් සකස් කිරීමට හැකිවීම විශේෂත්වයකි.  2022 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණි අග්‍රාමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරින් විසින් පිළිගත් අතර සෙත් පිරිත් සජ්ජායනයක් හා සර්ව ආගමික ආශිර්වාද පිරිනැමීමක්ද පැවැත්විණි.  

    “බුදුපුත් මාපිය හරසර” සහ “බුදුපුත් හරසර පූජා” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ ඉන් අනතුරුවයි. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කාර්යභාරයට අදාළ සංක්ෂිප්ත ප්‍රගති වාර්තාවක් අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් මෙහි දී අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කරන ලදි.  රටපුරා සියලුම විහාරස්ථානවල වැසිකිළි කැසිකිළි පහසුකම් පිළිබඳව ද සොයා බලා එම පහසුකම් නිසියාකාරව සම්පූර්ණ වී නොමැති විහාරස්ථාන වෙනුවෙන් එම පහසුකම් නිසි ලෙස සම්පූර්ණ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සිය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.  

    ආචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසර ස්වාමීන් වහන්සේ, ගලගම ධම්මරංසි ස්වාමීන් වහන්සේ , ආචාර්ය අග්‍රහැර කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ ආචාර්ය රාමචන්ද්‍ර අධියර් වීරපාණ්ඩියන් අධියර් කුරුක්කල්තුමා, අල්හාජ් හසන් මවුලානා මවුලවිතුමා, ආචාර්ය සික්ස්ටස් නිකලස් ප්‍රනාන්දු කුරුකුලසූරිය පියතුමා ඇතුළු සර්ව ආගමික නායකයෝ ආශිර්වාද එක් කිරීමට පැමිණ සිටියහ.  

    NewPM3 900px 22 02 04

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක , බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහාභාරකාර තැන්පත් නීතිඥ ගනේශ් ධර්මවර්ධන, අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් ඒ.එම් රත්නායක,මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ තරණී අනෝජා ගමගේ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුජිත් බාලචන්ද්‍ර , හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ උමා මහේෂ්වරන්, මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වුහ.

    Last modified on අඟහරුවාදා, 04 ජනවාරි 2022 19:45

    Latest News