ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තබයි

ජන 07, 2022

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී ඊයේ (06) සිදුකෙරිණ.

    ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වන 2003 බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන 03ක් අතර පහත පරිදි බෙදී යයි.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ටැංකි 24ක්, ඛනිජ තෙල් සංස්ථාවට සියයට 51ක් හා ලංකා ඉන්දියානු තෙල් සමාගමට සියයට 49ක් කොටස් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61ක් හා ඉන්දියානු ලංකා තෙල් සමාගමට ටැංකි 14ක් ලෙස ටැංකි බෙදී යන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    එහි අධ්‍යක්ෂ මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පත් කරන 4 දෙනෙකුගෙන් ද ලංකා ඉන්දිය තෙල් සමාගම විසින් පත් කරන 3 දෙනෙකුගෙන් ද සමන්විත වෙයි. එමෙන්ම නව සමාගමේ සභාපතිවරයා පත් කරන්නේ ද තෙල් සංස්ථාව විසින්.

    ඒ අනුව මෙම ටැංකි 99න් 85කම පාලනය (24+61=85) තෙල් සංස්ථාව සතු වීම ලක් ඉතිහාසයට එක්වන ඓතිහාසික ජයග්‍රහණයක් බව එම අමාත්‍යාංශය පවසයි.

    මෙම නව ගිවිසුම් ජනවාරි මස 10 වැනිදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අතර 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනවාරි මස 11 වැනිදා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වේබ් අඩවියට මෙම ගිවිසුම් එක්කෙරෙන බව ද අමාත්‍යාංශය පවසයි.

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා යන මහත්වරු මෙම ගිවිසුම් වලට අත්සන් තැබුහ.

    ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

     

    Latest News