'2020 දී මෙරටට ඩොලර් මිලියන 611ක ප්ලාස්ටික් ආනයනය කරළා'- පරිසර ඇමති

පෙබ 07, 2022

    2020 වසරේ දී මෙරටට ඩොලර් මිලියන 611.53ක ප්ලාස්ටික් ආනයනය කර තිබෙන බව  එක්සත් ජාතින්ගේ COMTRADE දත්ත පද්ධතිය මඟින් කරුණු හෙළිදරව් කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    පරිසරවේදීන් පිරිසක් සමග අමාත්‍යවරයා පසුගියදා පවත්වන ලද සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය.

    පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර ප්ලාස්ටික් හා පොලිතීන් මගින් සිදුවන පරිසර හානිය සම්බන්ධව මෙහිදී සාකච්ඡා විය. එමෙන්ම සිංහරාජ වනාන්තර කළාපය යටතට පවරා ගත යුතුව තිබෙන වෙනත් අවශේෂ වනාන්තර සම්බන්ධව ද, සිංහරාජ වනාන්තරයට ආසන්නව සිදුවන පාරිසරික හානිකිරීම් සඳහා ඉවහල්වන මානව ක්‍රියාකාරකම් සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

    අපේ රටේ දැනට සිදුවන පාරිසරික හානිය සඳහා විශාල බලපෑමක් පොලිතීන් හා ප්ලාස්ටික්වලින් එල්ල වේ. වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් 300,000ක් පමණ මෙරටට ආනයනය කරනු ලබයි. මෙයින් ප්‍රතිචක්‍රියකරණය කරනු ලබන්නේ සියයට 7.1ක් පමණි. ඉතිරි සියයට 92.9ක්ම පරිසරයට අවිදිමත් ලෙස බැහැර කරන බවත්, වැඩි ප්‍රමාණයක් මිනිසුන් විසින් ගිනි තබා විනාශ කිරීම නිසා විශාල වායු දූෂණයක් එමගින් සිදුවන බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය ගත් තීරණ හේතුවෙන් මේ වනවිට එක්වරක් පමණක් භාවිතා කරන සැෂේ පැකට් තහනම ( ආහාර හා ඖෂධ නොවන)  සියයට සියයකින්ම සාර්ථකව තිබේ. එසේම දිරාපත් නොවන ලන්ච්ෂීට් භාවිතය ඉදිරි මාස තුන තුළ මුළුමනින්ම අප රටෙන් තුරන් කරලීම සඳහා කටයුතු කරන බවත්, සියලු පාරිසරික සංවිධාන හා පරිසරවේදීන්ගේ සහාය ඊට අවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

    Latest News