කෝප් කමිවුවේ සභාපතිත්වයට යළිත් මහාචාර්ය චරිත හේරත්....

පෙබ 10, 2022

    9 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තේරී පත්විය.

    පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (10) රැස්වූ එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරිණ. අමාත්‍ය සරත් වීරසේකර මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර , පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා එය ස්ථීර කළේය.  මහාචාර්ය චරිත හේරත් මහතා 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළේය.  

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (1) අනුව පසුගියදා තේරීම් කාරක සභාව විසින් මෙම කාරක සභා සාමාජිකයෝ පත් කරනු ලැබූහ. ඒ අනුව අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, (ආචාර්ය) සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර, ඩී. වී. චානක, ඉන්දික අනුරුද්ධ, (ආචාර්ය) නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සුසිල් ප්‍රේමජයන්ත, අනුර දිසානායක, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, ප්‍රේම්නාත් සී. දොලවත්ත, ෂානක්කියන් රාසමාණික්කම්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ‍සෙසු සාමාජික මන්ත්‍රීවරු ලෙස කටයුතු කරති.  පසුගිය සභාවාරයේ කොප් කමිටුවේ සාමාජිකත්වය දැරූ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් කබ්රාල් මහතා වෙනුවට මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සාමාජික මන්ත්‍රීවරයෙක් ලෙස පත්වී තිබේ.  

    රාජ්‍ය සංස්ථා, මුළුමනින්ම හෝ කොටසක් ආණ්ඩුව විසින් අරමුදල් සපයනු ලබන ආයතනවල ගිණුම් සහ යම් ලිඛිත නීතියක් මගින් ආණ්ඩුවට පවරා ගන්නා ලද යම් ව්‍යාපාරයක් හෝ වෙනත් පැවරීමක් සම්බන්ධව පාර්ලිමේන්තුව ඉදිරියේ තබනු ලබන ගිණුම් විගණකාධිපතිවරයාගේ සහය ඇතිව පරීක්ෂා කිරීම පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ කාර්ය වේ.  

    මේ අතර, රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ (කෝපා) සභාපතිත්වයට මහාචාර්ය තිස්ස විතාරණ මහතා යළිත් පත්විය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (10) රැස්වූ කාරක සභාවේදී රාජ්‍ය  අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ සදහා යෝජනාව ඉදිරිපත් කළ අතර , පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා එය ස්ථීර කළේය. මහාචාර්ය තිස්ස විතාරණ මහතා 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළේය.

    අමාත්‍ය උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර , ලසන්ත අලගියවන්න, (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, ශෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ, බුද්ධික පතිරණ, කේ. කාදර් මස්තාන්, මොහමඩ් මුසම්මිල්, සිවඥානම් ශ්‍රීතරන්, හේෂා විතානගේ, (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, බී. වයි. ජී. රත්නසේකර, වීරසුමන වීරසිංහ, (මහාචාර්ය) රංජිත් බණ්ඩාර සහ (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහූ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

    මහජන වියදම් සදහා පාර්ලිමේන්තුව විසින් ප්‍රදානය කරනු ලබන මුදල් විසර්ජනය කිරීම පෙන්නුම් කරන ගිණුම්ද, රජයේ ගිණුම් පිළිබද කාරක සභාව විසින් සුදුසු යැයි සලකනු ලැබිය හැකි පාර්ලිමේන්තුව ඉදිරියේ තබනු ලබන වෙනත් යම් ගිණුම්ද විගණකාධිපතිවරයාගේ සහාය ඇතිව පරීක්ෂා කරනු ලැබීම රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ කර්තව්‍ය වේ.

    Latest News