මානව හිමිකම් කඩකිරීමේ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට භාරදෙයි

පෙබ 19, 2022

    මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.

    මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කළ කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් 2021 ජනවාරි මස 21 ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිසම පත් කෙරිණ.

    එම කොමිසමේ පළමු වාර්තාව 2021 ජුලි මස 21 වන දින ජනාධිපතිතුමා වෙත භාර දීම සිදුවිය.

    පිටු 107කින් සමන්විත දෙවන වාර්තාව සැකසීමේ දී යුද්ධයට මුහුණ දුන් සහ ඒආශ්‍රිත අත්දැකීම් සහිත යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි පදිංචිකරුවන් 75 දෙනෙකුගේ සාක්ෂි මත පදනම් කරගත් කරුණු සැලකිල්ලට ගනිමින් නිර්දේශ කිහිපයක් කොමිසම ඉදිරිපත් කර ඇත.

    2015 දී පත් කළ පරණගම කොමිසම සොයාගත් කරුණු වහාම විමර්ශනය කර ඒ සම්බන්ධයෙන් නඩුවක් හෝ වන්දි ලබාදීමට නිර්දේශ කර තිබේ. ආර්ථික වශයෙන් නැගී සිටීමට රජයේ උපකාරය අවශ්‍ය බව කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන් පිරිස ඉල්ලා සිටි අතර ඒ සඳහා ද කොමිසමේ නිර්දේශය හිමිව ඇත.

    ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩක් නොමැති අතර යුද සමයේ දී යම් ඥාතියෙක් මිය ගොස් ඇත්නම් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව සැමරීමට අයිතිය ලබාදීමට ද කොමිසමේ නිර්දේශ කර ඇති අතර ලබන ජුනි මාසය වන විට අවසන් වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට හැකි වෙතැයි එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා සඳහන් කළේය.

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    Last modified on සෙනසුරාදා, 19 පෙබරවාරි 2022 08:26

    Latest News